මැතිවරණ සමයක ජනපති මාධ්‍ය හමුව 'වැරදියි'

  • 9 මාර්තු 2014
රාජ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා ජනතා ගැටළුවලට පිළිතුරු සැපයීම ගැන පැමිණිලි

මැතිවරණයක් පැවැත්වෙන සමයක ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ අදාළ ප්‍රදේශවල ජනතා ගැටළු විසඳීමට මැදිහත්වීම යෝග්‍ය නොවන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

විශේෂයෙන්ම පසුගිය සිකුරාදා රාජ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය යොදා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ බස්නාහිර සහ දකුණු පලාත්වල ජනතා ගැටළුවලට පිළිතුරු සැපයීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසන්නේ.

කෙසේ නමුත් මැතිවරණයක් පැවැත්වුණු පමණින්ම රටේ රාජ්‍ය නායකයාට ජනතා ගැටළු සම්බන්ධයෙන් අවධානය පළ කිරීමෙන් වැලකී සිටිය නොහැකි බව කැෆේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශය කළ විමසීමකදී පිළිගත්තේය.

පැමිණිලි 600 ක්

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 613 ක් මේ වන විට තමන්ට ලැබී තිබෙන බව පවසන ඔහු, එයින් බහුතරය රාජ්‍ය දේපොළ අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධ චෝදනා බවද කියා සිටියේය.

ආරක්ෂක ලේකම්වරයා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වීමද විවේචනයට ලක් විය

කැෆේ සංවිධානය සිය නිරීක්ෂණ ආරම්භ කළ අවස්ථාවේ පටන් මේ දක්වා අදාළ කාලසීමාව තුල වැඩියෙන්ම පැමිණිලි ලැබී තිබෙන්නේ මෙවර මැතිවරණයේදී බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක මානව සම්පත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගැනෙමින් තිබෙන බවත් රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට පැවසීය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පැමිණිලි කිරීමෙන් අනතුරුව පාලක සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක උදය ගම්මන්පිල පසුගියදා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන් සමාව ඉල්ලා සිටියේය.

පැමිණිලි විශාල ප්‍රමාණයක ලැබී තිබෙන නමුත් ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි ඉතා අඩු බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භයේදී එතරම් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවීම සාමාන්‍ය තත්වයක් බවයි.