ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් විශාල සහයක්

  • 8 මාර්තු 2014

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගැන සාකච්ඡා කෙරෙන මූලික සමාන්තර රැස්වීමක් සිකුරාදා ජිනිවා නුවර එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ගොඩනැගිල්ලේ දී පැවැත්විණ.

නොනිල මට්ටමේ සාකච්ඡාවක් වන මෙහි දී යෝජනාවට පක්ෂ සහ විපක්ෂ රටවල් අදහස් දැක්වූ බව පැවසූ මානව හිමිකම් ක්‍රියාධරයකු වන, සුනන්ද දේශප්‍රිය කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට පාකිස්ථානය තදින්ම විරුද්ධව කරුණු දැක්වූ බවයි.

ශක්තිමත් කිරීම

අප්‍රිකානු රටවල් - දකුණු අප්‍රිකාව හෝ මේ යෝජනාව ගැන කිසිවක් ප්‍රකාශ නොකළ බව සඳහන් කළ ඔහු පැවසුවේ සුපුරුදු පරිදි යුරෝපීය රටවල් යෝජනාවට පක්ෂව කථා කරමින් එය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සංශෝධන ගෙන ආ බවයි.

විශේෂයෙන්ම මානව හිමිකම් ක්ෂේත්‍රයේ දී අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතුළත් කළ යුතු බවත් වගවීම් පිළිබඳ යෝජනා සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කරණය ශක්තිමත් කළ යුතු බවත් යුරෝපීය රටවල් විසින් ඉල්ලා සිටියේ යැයි, මානව හිමිකම් ක්‍රියාධරයකු වන සුනන්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට සෑම විටම පක්ෂ රුසියාව, චීනය, පාකිස්තානය, කියුබාව, වෙනිසියුලාව යන රටවලින් ඉදිරිපත් වූ යෝජනාවලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර පළ වූයේ යුරෝපීය රටවල් වලින් බවයි ඔහු කියා සිටියේ.

නිහඬ ප්‍රතිපත්තියක්

ඉන්දියාව මෙම සාකච්ජාවේදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් බංග්ලාදේශය යම් යම් සංශෝධන ගෙන එමින් යෝජනාවට එකඟ නොවන බව කියා සිටි බවත් ඔහු පැවසුවේය.

අනිත් හැම රටකටමට වඩා පාකිස්තානය ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ඉතා ශක්තිමත්ව පෙනී සිටි බව සඳහන් කළ මානව හිමිකම් ක්‍රියාධරයකු වන සුනන්ද දේශප්‍රිය, ශ්‍රී ලංකාවේ සුළු තර ආගමික නිදහස සම්බන්ධ යෝජනාව සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙස පාකිස්තානය ඉල්ලා සිටි බව පැවසුවේය.

එවැනි ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ සුළුතර ආගමිකයන්ට නොමැති බව පාකිස්තානය කියා සිටි බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා රජය යෝජනාව පිළිනොගන්නා බවත් ඊට විරුද්ධ බවත් එම යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට ඇඟිලි ගැසීමක් බව, මුලින්ම රැස්වීම ඇමතූ ජිනීවා හි එකසත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ පැවසූ බව ඔහු පැවසුවේය