ලෝක කාන්තා දිනයේ හඬ

  • 8 මාර්තු 2014
යුක්තිය ඉල්ලා සිටින ශ්‍රී ලංකා කාන්තා හඬ

කාන්තා හිංසනය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම සහ කාන්තාවන් සවි බල ගැන්විම සඳහා ක්‍රියා කිරීමේ වගකීම ඇත්තේ පුරුෂ පක්ෂයට නොව කාන්තාවන්ට බව කථානායක චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ලෝක කාන්තා දිනය සැමරීමට පාර්ලිමේන්තුවේ සංවිධානය කෙරුණ වැඩසටහනකට සහභාගී වෙමිනුයි, කථානායකවරයා එම අදහස් පළ කළේ.

අන්තර්ජාලය හා ජනමාධ්‍ය නිසා පුරුෂයන් කාන්තාවන් දෙස බලන ආකාරය වෙනස් වී ඇති බව පවසන කතානායක චමල් රාජපක්ෂ, එමගින් කාන්තාවට එරෙහිව සිදු කෙරෙන හිංසනය තවත් දැඩි වී ඇති බවයි කියා සිටියේ.

"ජන මාධ්‍යය,අන්තර්ජාලය,ටෙලිනාට්‍ය,සිනමාව යන සියලු දේ මගින් පෙන්වන්නේ කාන්තාව කාම වස්තුවක් හැටියට. මෙය පාලනය කළ යුතුයි. පුරුෂයා කාන්තාව දෙස බලන ආකාරය වෙනස් කළ යුතුයි. එය වෙනස් කළ හැක්කේ කාන්තාවටමයි.” කථානායකවරයා පෙන්වා දෙයි.

වගකීම කාන්තාවන්ට

ඉන්දියාවේ දිළිඳු කතුන් රැකියා පෝලිමක

කාන්තා හිංසනය නතර කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කථානායක චමල් රාජපක්ෂ, "මගේ මතය නම් කිසි කෙනෙකුට මේ සම්බන්ධයෙන් පුරුෂ පක්ෂයට වගකීම් පවරන්න බැහැ, කාන්තාවටම තමයි එම වගකීම පැවරිය යුත්තේ" යනුවෙන් ද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත උනා මේක්කෙලී අදහස් දක්වමින්, කලාපයේ අනිකුත් රටවල් සමග සැසඳීමේදී කාන්තාවන් සවිබල ගැන්වීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ කාන්තා සහ සෞඛ්‍යය තත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බව සඳහන් කළ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිතවරිය අධ්‍යාපනය අංශයෙහි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මැනීමේ දර්ශකය අතින් ද ශ්‍රී ලංකාව ඉතා ඉහල මට්ටමක සිටින බවයි කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඇතුල් වන ශිෂ්‍ය ශිෂ්‍යයන් අතර 60% ක් කාන්තාවන් වීම එයට කදිම උදහරනයක් වන බවත් ඇය පෙන්වා දුන්නාය.

දූෂනයට සහ ඝාතනයට එරෙහි බංග්ලාදේශ් කාන්තාවන්

ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක වීම ,කළමනාකරණ තනතුරුවල සහ ආයතනවල ඉහල තැන්වල කාන්තා නියෝජනය අඩු වීම, උගත් කාන්තාවන් අතර විරැකියාව ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න කිහිපයක් බව පැවසූ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය, වර්ධනය වන ශ්‍රී ලංකා ආර්ථිකය තුළ සමානත්මතාව ඇති කිරීම සඳහා එකී ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඉතා වැදගත් බවයි කියා සිටියේ.

විපක්‍ෂයේ අතෘප්තිය

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කාන්තා දින සැමරුමේදී අදහස් දක්වමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිය සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවක් පැවසුනත් දැනට ලබා ඇති තත්වය සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් නොවන බවයි.

" අපට කියන්න පුළුවන් හැම ක්‍ෂේත්‍රයකම කාන්තාවන් වැඩි වැඩියෙන් ඉන්නව කියලා. ඒත් කාන්තාවන්ට අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි මට්ටමේ වාතාවරණයක් තවම ලංකාවේ ඇතිවෙලා නැහැ" විපක්‍ෂ නායකවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන මනාප දේශපාලනය නිසා කාන්තාවන් පමණක් නොව පිරිමින්ද අලුතින් දේශපාලනයට පැමිණීම අතින් මැලි කමක් දක්වන බව සඳහන් කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එය වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇතැයි ද කියා සිටියේය.

ජනමාධ්‍යවේදිනියන්ගේ ඉරණම

ලෝක කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන දකුණු ආසියානු කාන්තා ජනමාධ්‍යවේදිනියන්ගේ ශ්‍රී ලංකා එකමුතුව, කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ඇති බවත්,ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදිනියන් ද නිතරම තර්ජන, හිරිහැර ආදියට මුහුණ දෙන බවත් පෙන්වා දී ඇත.