ආසියානු කුසලාන: 'වැටුප් ප්‍රශ්නය පීඩාවක් නොවේ'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 7 සිකුරාදා - 14:50 GMT

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී පාකිස්තානය පරාජයට පත් කළේය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ පාලක මණ්ඩලය අතර මතු වී තිබෙන මතභේදය මගින් සෙනසුරාදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරඟයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව කණ්ඩායමේ කළමනාකරු පවසයි.

ශූරතාවලිය අවසානයේ කණ්ඩායම යලි ශ්‍රී ලංකාවට ගිය පසු එම ප්‍රශ්නය නිරාකරණය කර ගනු ඇති බව බීබීසී සංදේශයට කියා සිටි මයිකල් ද මේ මොහොතේ කණ්ඩායමේ අවධානය පළ වී තිබෙන්නේ අවසාන මහා තරඟය ජය ගැනීම පිළිබඳව බවද පවසයි.

වෙළඳ දැන්වීම්වලට ක්‍රීඩකයන්ගේ ඡායාරූප යොදා ගැනීම මගින් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයට ලැබෙන ආදායමෙන් කොටසක් ක්‍රීඩකයන්ට ලබා දීම වසර ගණනාවක් මුළුල්ලේ පැවති ක්‍රමය බව සංදේශයට කියා සිටි ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා, මෙවර එය ලබා නොදීමට බලධාරීන් උත්සාහ කිරීම මතභේදයට හේතුව බව පෙන්වා දෙයි.

'සුපුරුදු පරාජය'

ඒ සම්බන්ධයෙන් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය නියෝජ්‍ය අමාත්‍යවරයා කණ්ඩායමට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත් වූ බව ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් මතු වන තර්කය බවද චන්නක ද සිල්වා පවසයි.

මේ අතර බංග්ලාදේශයට එරෙහිව බ්‍රහස්පතින්දා ක්‍රීඩා කළ කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු පමණ සෙනසුරාදා තරඟයේදී වෙනස් විය හැකි බව පවසන කළමනාකරු මයිකල් ද සොයිසා, තරඟ වදින එකොලොස් දෙනා තවමත් තීරණය කොට නොමැති බවද සංදේශයට කියා සිටියේය.

ලසිත් මාලිංග මෙන්ම ශූරතාවලියේදී එතරම් දස්කම් නොදැක්වූ මහේල ජයවර්ධනත් අනිවාර්යයෙන්ම කණ්ඩායමට එක් වන බවද ඔහු සඳහන් කළේය.

ශූරතාවලිය පුරාවටම ඉතා දක්ෂ ලෙසින් ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වරට ආසියානු කුසලානය ජයග්‍රහණය කළේ 2008 දී.

එවක් පටන් ලෝක කුසලාන ඇතුළු ජාත්‍යන්තර තරඟාවලි ගණනාවකම අවසාන මහා තරඟවලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව ඒ සෑම අවස්ථාවකම පරාජයට පත් වුනේ ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින්.

එහෙත් සෙනසුරාදා තරඟයේදී එය වෙනස් වනු ඇති බවට කණ්ඩායමේ කළමනාකරු විශ්වාසය පළ කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.