නවී පිල්ලේ වාර්තාව 'ප්‍රතික්ෂේප කරනවා'

5 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 15:16 GMT

ලොව වෙනත් ප්‍රදේශවල "වඩාත් අවධානයට ලක් විය යුතු සහ හදිසි ක්‍රියා මාර්ග ගත යුතුව තිබෙන" මානව හිමිකම් උල්ලංඝනයන් "ආයාසයකින් තොරව නොසලකා හරින" අතරවාරයේ, දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මානව හිමිකම් යොදා ගන්නා බවට ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට චෝදනා කරයි.

විශේෂයෙන්ම මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන්නේ එවැනි පිළිවෙතක් බවයි, විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් ජිනීවා නුවර දැන් පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ විසි පස් වැනි සැසිවාරය අමතමින් කියා සිටියේ.

සිය රටේ අනුමැතියකින් තොරව මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාදාමය කවරක් වුවත්, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.

ජනාධිපති කොමිසම

විශේෂයෙන්ම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ පරිදි යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කරනු වස් ආණ්ඩුව ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවද ඔහු පවසයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පත් කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමට මේ වන විට පැමිණිලි 16,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සෘජුවම හෝ සෘජු නොවන ආකාරයෙන් යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙසින් මරුමුවට පත් වූවන් සහ තුවාල ලැබූවන් මෙන්ම දේපොළ හානිද සොයා බැලීමේ අරමුණින් දීප ව්‍යාප්ත සංගණනයක් පැවැත්වෙමින් තිබෙන අතර එහි මූලික වාර්තාව ඉදිරි සති කිහිපය ඇතුලත ප්‍රකාශයට පත් වනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එල්ටීටීඊ සංවිධානය විසින් උතුරෙන් පලවා හරින ලද 75,000 කට ආසන්න මුස්ලිම් ජනතාවට යළිත් ස්ථිරව පදිංචි කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි, අමාත්‍ය ජීඑල් පීරිස් සැසිවාරය මතින් කියා සිටියේ.

'වාර්තාව ප්‍රතික්ෂේප කරනවා'

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ප්‍රකාර යලි පදිංචි වූ යුද අනාථයන්ට ස්ථිර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ වී ඇති බවත් අමාත්‍ය පීරිස් පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් ක්‍රියා කොට තිබෙන බවයි, විදේශ ඇමතිවරයා සිය දේශනයේදී අවධාරණය කළේ.

එසේ තිබියදීත් මානව හිමිකම් මණ්ඩලය දිගින් දිගටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම එහි "අසාධාරණ සහ පක්ෂග්‍රාහී" ක්‍රියාකලාපය හෙළිදරවු කරන්නක් බවයි, ඔහු පවසන්නේ.

මේ තත්ත්වය යටතේ නවී පිල්ලේ මහා කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ "දේශපාලන ස්වරූපයක් ගත් ආක්‍රමණශීලී ආකාරයේ වාර්තාව" ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.