'සොයා නොමැති පුද්ගලයා' සහතිකයට අප්‍රසාදය

4 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:55 GMT

ශ්‍රී ලංකාවේ යුද සමයේ අතුරුදහන් වූවන් වෙනුවෙන් මරණ සහතිකය නිකුත් කිරීමෙන් වැලකී, "සොයා ගෙන නොමැති පුද්ගලයා" නමින් සහතිකයක් නිකුත් කිරීමේ උත්සාහය පිළිබඳව අතුරුදහන් වූවන්ගේ ඥාතීහු අප්‍රසාදය පළ කරති.

එය ජාත්‍යන්තර බලපෑම් මඟ හැරවීමේ උත්සාහයක් බවයි, අතුරුදහන් වූවන් සොයා බැලීම සඳහා වන කමිටුවේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් සංදේශයට කියා සිටියේ.

අතුරුදහන් වූවන් වෙනුවෙන් "සොයා ගෙන නො ඇති පුද්ගලයා" නමින් සහතිකයක්

මරණ සහතික ලබාදී, අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්නය යටපත් කිරීමට රජය ගත් උත්සාහයට විරෝධතා පළ වීම හේතුවෙන්, වෙනත් උපායයක් ලෙසින් මෙවැනි සහතිකය ලබා දීමට සැරසෙන බවටද සුන්දරම් මහේන්ද්‍රන් ආණ්ඩුවට චෝදනා කරයි.

ආරක්ෂක හමුදාවට භාර වූ සිය ඥාතීන් පිළිබඳව කිසිදු තොරතුරක් නැතිව සිටින අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මෙවැනි සහතිකයක් පිළි ගනීවිද යන්නත් අතුරුදහන් වූවන් සොයා බැලීම සඳහා වන කමිටුව මතු කරන ප්‍රශ්නයක්.

එහෙත් අතුරුදහන් වූවන් වෙනුවෙන් මරණ සහතිකයක් ලබා දීමෙන් ඔවුන්ගේ ඥාතීන්ට ඇති විය හැකි මානසික දුර්වලතා පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දීමෙන් පසුව "සොයා ගෙන නොමැති පුද්ගලයා" නමින් සහතිකයක් නිකුත් කිරීමට පියවර ගත් බවයි, බලධාරීන් පවසන්නේ.

උතුරු නැගෙනහිර ප්‍රදේශයේ අතුරුදහන් වූවන් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම මේ ප්‍රශ්නය පිළිබඳව ජාත්‍යන්තර රතු කුරුස සංගමය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

"සොයා ගෙන නොමැති පුද්ගලයා" වෙනුවෙන් ලබා දෙන මේ සහතිකයට මරණ සහතිකයට සමාන වලංගුභාවය ලබා දෙමින් නීති සම්පාදන වෙමින් තිබෙන බවයි, ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම සංදේශයට කියා සිටියේ.

අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට එදිනෙදා කටයුතුවලදී මේ සහතිකය ප්‍රයෝජනවත් වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.