එල්ටීටීඊ යුද අපරාධ ප්‍රදර්ශනයක් කන්තලේ

  • 3 මාර්තු 2014

යුද ගැටුම් සමයේ එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද අපරාධ පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ පට ප්‍රදර්ශනයක් මේ දිනවල කන්තලේ අග්‍රබෝධි පිරිවෙන් විහාරස්තානයේදී පැවැත්වේ.

ගම්වැසියන් ඝාතනය කිරීම, ආගමික ස්ථානවලට පහර දීම, දේශපාලන නායකයන් ඝාතනය කිරීම, රාජ්‍ය දේපොළ විනාශ කිරීම, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ඇතුළු එල්ටීටීඊ සංවිධානයේ අපරාධ ප්‍රදර්ශනයට ඇතුලත්.

ආණ්ඩුව උතුරු හා නැගනහිර පලාත්වල සිදු කළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමයද ප්‍රදර්ශනයට ඇතුලත් බව ආර්ජී ධර්මදාස කන්තලේ සිට වාර්තා කරයි.

ජාතීන් අතර සමගිය පිහිටුවීමේ අරමුණින් පසුගිය වසරේ සිය සංවිධානය පිහිටුවාගත් බවයි, ප්‍රදර්ශනයේ සංවිධානය කළ සහජීවනය සහ සංහිඳියාව සඳහා වූ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක නිලධාරී තිස්ස බණ්ඩාර නීලවල බීබීසී සංදේශයට කියා සිටියේ.

ප්‍රදර්ශනය පැවැත්වීමට රාජ්‍ය ආයතනවල සහයෝගය ලැබෙන බවද ඔහු පිළිගත්තේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරෙන යෝජනාවලට එරෙහි වීම සිය අරමුණ නොවන බවයි, සංවිධායකයන් අවධාරණය කරන්නේ.

එහෙත් ප්‍රදර්ශනයට නැරඹු ඇතැම් පිරිස් කියා සිටියේ එල්ටීටීඊයේ අපරාධ ලෝකයට ප්‍රදර්ශනය කිරීමට මෙය සුදුසුම අවස්තාවක් බවයි.