'දූෂණය කළ පෙම්වතා එක්ක දීග යන්න බල කළා'

2 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:16 GMT

විශාඛා, පාසැල් වියේදීම සිය පෙම්වතා අතින් දූෂණයට ලක් වූ කාන්තාවක්.

ඉන් අනතුරුව ඇයට ඔහු සමඟ විවාහ වන්නට සිදු වූයේ සිය දෙමාපියන් සහ සමාජයේ බලපෑම මත බව ඇය පවසන්නීය.

දශක දෙකක 'බලහත්කාර' විවාහ දිවියේදී ඇයට සිදු වුනේ සිය සැමියාගේ විකෘති ලිංගික ආශාවන් පිනවමින් දැඩි මානසික සහ ශාරීරික පීඩාවන් යටතේ දිවි ගෙවීමට.

'එයා වෙන චිත්‍රපටි බලලා ඒ වගේ ඉන්න කියනවා. ඒ අයට පුලුවන්නම් ඇයි උඹට බැරි කියල අහනව'

"ලිංගික හැසිරීමේදී අවනත වුනේ නැත්නම් ඒ ප්‍රදේශයට පයින් ගහනවා," ඇය මා සමඟ කියා සිටියේ කඳුළු සඟවා ගැනීමට ප්‍රයත්නයක් දරමින්.

"එයා වෙන චිත්‍රපටි බලලා ඒ වගේ ඉන්න කියනවා. ඒ අයට පුලුවන්නම් ඇයි උඹට බැරි කියල අහනව."

'එයා මගේ භාණ්ඩයක්'

වසර විස්සක විවාහ ජීවිතයේදී කිසිදු උත්සවයකට හෝ සහාභාගි නොවූ බව පවසන ඇය, කිසියම් ලෙසකින් හෝ පවුලේ උත්සවයකට සහභාගි වූ අවස්තාවලදී සිය සැමියා තමන්ට දරුණු ලෙසින් පීඩා කළ බවද පවසන්නීය.

ශ්‍රී ලංකාවේ පුරුෂාධිපති සමාජය කාන්තාවගේ නිදහස නිශේධ කර ඇති අන්දම පිළිබඳව විශාඛාගේ අත්දැකීම කදිම උදාහරණයක් බව කාන්තා ක්‍රියාධාරිනියෝ පෙන්වා දෙති.

'බිරිඳ කියන්නේ මගේ අයිතිවාසිකමක්. එයා මගේ භාණ්ඩයක්. එයා මගේ අයිතිය'

ශ්‍රී ලංකාවේ සමාජය, බිරිඳ සිත් පිත් නැති භාණ්ඩයක් ලෙසින් සැලකීමට පුරුදුවී ඇති බවයි, Women In Need හෙවත් කාන්තා පිහිට සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා සාවිත්‍රි විජේසේකර පවසන්නේ.

ශ්‍රී ලංකාවේ පුරුෂයන් "'බිරිඳ කියන්නේ මගේ අයිතිවාසිකමක්. එයා මගේ භාණ්ඩයක්. එයා මගේ අයිතිය. ඉතින් මට ඕනෑ දෙයක් කරන්න පුළුවන්," යන මානසිකත්වයේ පසු වන බවත් ඇය පවසනවා.

සැමියාගේ ලිංගික ප්‍රචණ්ඩත්වයට තමා ගොදුරක් වූ බව සිය අනන්‍යතාව හෙළිකිරීමට අකමැති කාන්තාවක් බීබීසී සංදේශයට කියා සිටියාය.

අනියම් පෙමක් පිළිබඳව චෝදනා කරමින් සැමියා තමන් දරුණු ලිංගික හිංසාවන්ට භාජනය කළ බවයි, ඇය පවසන්නේ.

'මානසික අසමතුලිතතාවයක්'

"කියපන් ඇත්ත කියල යකඩ පටියක් අරගෙන මට වැරෙන් පහරක් ගැහුවා. ඊට පස්සේ දඟර වැටිච්ච කම්බියක් අරගෙන මේක උඹේ ඇඟ ඇතුලට අරිනවා කියල කිව්වා," යනුවෙන්ද ඇය වේදනාබරිතව කියා සිටියාය.

මෙවැනි පුද්ගලයන්ගේ මානසිකත්වයේ අසමතුලිතතාවයක් ඇති බවයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි සංදේශය කළ විමසීමකදී පෙන්වා දුන්නේ.

"මේ පුද්ගලයාගේ මානසික තත්ත්වය හොඳ නැහැ. ඇතැම් ආකාරයක මානසික රෝගයකින් පෙලෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්," යනුවෙන්ද ඔහු පැවසීය.

විශාඛාගේ සැමියා වැනි කාමුක චිත්‍රපට නරඹා මානසික ගැටලුවලට මුහුණ දෙන්නන්ද ලාංකීය සමාජය පෙලන බරපතල ප්‍රශ්නයක් බවත්, ඔහු කියා සිටියේය.

"මේක මානසික ගැටළුවක්. මේ වැරදි දේ බලලා ඒවා අනුකරණය කරන්න ගිහිල්ල රෝගීන් බවට පත්වූ පිරිස් ඉන්නවා. මේ නිසා අනෙක් පාර්ශ්වයටයි බලපෑම් එල්ල වෙන්නේ."

මෙවැනි අවාසනාවන්ත තත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට ජනමාධ්‍ය ගෙන ඇති පියවර කවරේදැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි ප්‍රශ්න කරයි.