ජිනීවා යෝජනාව දෙමළ ඡන්ද වෙනුවෙන් - ජනපති

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 28 සිකුරාදා - 13:39 GMT

'මේ සමස්ත යෝජනාව සමඟ අපට එකඟ විය නොහැකියි. කිසිසේත්ම යෝජනාවක් ගෙන ආ යුතු නැහැ'

දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ලබා ගැනීම උදෙසා බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන බව පවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාවට කිසිසේත් එකඟ විය නොහැකි බව සඳහන් කරයි.

ජනාධිපතිවරයා එම අදහස් පළ කලේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

"මේ සමස්ත යෝජනාව සමඟ අපට එකඟ විය නොහැකියි. කිසිසේත්ම යෝජනාවක් ගෙන ආ යුතු නැහැ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව පවසන ජනාධිපති රාජපක්ෂ ඒ සඳහා දේශීය පරීක්ෂණයක් පැවැත්වෙන බවද කියා සිටියේය.

ලිබියාව හා සිරියාව

"අතුරුදහන්වීම පිළිබඳ සොයා බලන කොමිසම ඔවුන්ගේ කටයුතු සිදුකරමින් යනවා. අපි මේවා සම්බන්ධයෙන් දේශීයව කටයුතු කරනවා."

ඇෆ්ඝනිස්තානය, ලිබියාව හා සිරියාවේ සිදුවන දේ දෙස බලන විට ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන්නේ කුමක් දැයි ජනපතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙරලීම මෙවැනි යෝජනාවල අරමුණ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ: "ඒක ඔබ ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ, ජනතාව මාත් සමඟ ඉන්නකන් මට ප්‍රශ්නයක් නැහැ," යනුවෙන්.

ජිනීවා යෝජනාවකදී ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඉන්දියාවේ තීරණය අප්‍රේල් මස පැවැත්වෙන මැතිවරණය හා බැඳී තිබෙන්නක් බව තමන් වටහා ගෙන සිටින බවයි.

"අපි ඔවුන්ව තේරුම් ගෙන සිටිනවා. ඔවුන්ගේ මැතිවරණය පැවැත්වෙනවා, ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ගැන සිතන්න වෙනවා," යනුවෙන්ද ඔහු පැවසීය.

උතුරේ ප්‍රශ්ණ

ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර සම්බන්ධතාවයන්හි කිසිදු පලුදු වීමක් සිදු වී නොමැති බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.

'ඉන්දියාවේ තීරණය මැතිවරණය සමඟ බැඳී තිබෙන්නක්'

උතුරේ ජනතාවට ලබා දිය හැකි උපරිම සහන පසුගිය වසර කිහිපය තුල ලබා දී තිබෙන බව පවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ, යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කර තිබෙන බවද කියා සිටියේය.

මාධ්‍යවේදීන් ඝාතනවලට කිරීමට සම්බන්ධ කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති වීම පිළිබඳව මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔහු, සාක්ෂි නොමැතිවීම හේතුවෙන් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන බව සඳහන් කළේය.

උතුරු පළාත් සභාවේ කටයුතු පිළිබඳව කළ විමසීමකදී ජනාධිපතිවරයා කියා සිටියේ, උතුරේ මහ ඇමතිවරයා ඉල්ලා සිටින පරිදි පළාතේ ප්‍රධාන ලේකම්වරයා ඉවත් කිරීමට නොහැකි බවයි.

ලබන මස පස් වැනිදා තමන් ජිනීවා මානව හිමිකම් කොමිසම අමතමින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රකාශ කරන බව සාකච්ඡාවට එක්ව සිටි විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් කියා සිටියේය. ඊට පෙර මාර්තු හතර වැනි දින තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ හමුවීමට නියමිත බවද ඔහු පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.