ජිනීවා සමුළුවට පෙර 'මර්දනය උත්සන්න කරලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 26 බදාදා - 12:06 GMT

ලබන මාසයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සමුළුවට පෙරාතුව ශ්‍රී ලංකාවේ විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම උත්සන්න කොට ඇතැයි ඇම්නස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශයට පත් කළ නව වාර්තාවක දැක්වේ.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතරවාරයේ විරුද්ධ මතධාරීන් අතර "භීෂණයක්" පතුරුවමින් සිටින බව මානව හිමිකම් සංවිධානය ආණ්ඩුවට චෝදනා කරයි.

මානව හිමිකම් ක්‍රියාධරයන් ගණනාවකට මරණ තර්ජන ඇතුළු විවිධ තාඩන පීඩනවලට මුහුණ පෑමට සිදු වී තිබෙන බවත් වාර්තාවේ සඳහන්.

"ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව ජාත්‍යන්තර අවධානය පළ වී තිබෙන අවස්ථාවල සාමාන්‍යයෙන් මර්දනය උත්සන්න වන අතර, ලබන මාසයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් මණ්ඩල රැස්වීමට ප්‍රථම සිදු වෙමින් තිබෙන්නේත් එයයි," යනුවෙන්ද ආසියා ශාන්තිකර කලාපය භාර ඇම්නස්ටි ජාත්‍යන්තරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පොලී ට්‍රස්කොට් කියා සිටියාය.

මානව හිමිකම් ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු නීතිඥවරිය "ඉවරයක් කළ යුතු," බවට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරක ව්‍යාපාර ඇතුළු තරජන පිළිබඳව පිටු දහසයකින් යුත් වාර්තාවේ විශේෂයෙන් සඳහන් වේ.

මානව හිමිකම් සම්බන්ධ රැස්වීම්වලට සහභාගි වූ බව පවසමින් ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශිකයන් ගණනාවක් රටින් පිටුවහල් කළ බවත් එහි සඳහන්.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට දිගින් දිගටම තරජන එල්ල වෙමින් තිබෙන බවට තමන්ට විශ්වසනීය සාක්ෂි තිබන් බව පවසන ඇම්නස්ටි ජාත්‍යන්තරය, ඔවුන්ට ආරක්ෂාව ලබා දීම පිණිස හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුතුකම බවද පෙන්වා දෙයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.