'විශ්වාසය දිනා ගන්න' ඉන්දියාව ලංකාවට කියයි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 12 බදාදා - 18:13 GMT

වෙනත් දේශීය හා විදේශීය පාර්ශවයන්ගේ විශ්වාසය දිනාගත හැකි අයුරින් කටයුතු කරන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා බදාදා නවදිල්ලියේ දී කියා සිටියේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිත්වයේත්, පාර්ලිමේන්තු ක්‍රියා දාමයේත් විශ්වසනීයත්වය තහවුරු කැරෙන අයුරින් කටයුතු කිරීමට පියවර ගත යුතු බවයි

සල්මාන් කුර්ශිඩ් අමාත්‍යවරයා විදේශ අමාත්‍යංශ කාර්යාලයේ දී මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් කණ්ඩායමක් මුණ ගැසුණු අවස්ථාවේ.

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභියෝගයට ලක් කරන රටවල විශ්වාසය දිනා ගැනීම පිණිස රජය පියවර ගත යුතු බවයි කුර්ශිඩ් අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ.

‘අපි ප්‍රවේසම් සහගතයි’

" ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය වරයා නිසි කළ පැමිණි විට තමන් සලකා බලන විකල්ප මා හා බෙදා හදා ගැනීමට පොරොන්දු වී තිබෙනවා "

ඉන්දීය විදේශ ඇමැති

කැනඩාව වැනි රටවල් ‘දැඩි ස්ථාවරයක’ ඉන්නා බව පැවසූ ඔහු ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය හැඳින්වුයේ ‘ඉතාම ක්‍රියාකාරී හා ආක්‍රමණකාරී’ පිළිවෙතක් ලෙසින්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සමුළුව මුව විටේ ඒ රටවලින් මතුවන එදිරිවාදිකම් වළක්වා ගන්නට පියවර ගත යුතු යැයි ශ්‍රී ලංකාවෙන් උදක් ම ඉල්ලා සිටින බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඉදිරි ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට සැරසෙන යෝජනාව හමුවේ ගන්නා ස්ථාවරය පිළිබඳ ව මාධ්‍යවේදීන් විමසු විට ඔහු සෘජු පිළිතුරක් දීමෙන් වැළකී සිටියේ ‘අපි ප්‍රවේසම් සහගතයි’ යනුවෙන් පවසමින්.

ඉන්දීය ස්ථාවරය පිළිබඳ නියත පිළිතුරක් දීම ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා තිබෙන හැකියාව ‘දියාරු’ කරනු ඇති බවයි ඔහුගේ අදහස.

“වෙනත් රටවල් සමග සාකච්ඡා කිරීමට පහසු තත්වයක ඉන්නා බව ශ්‍රී ලංකාවට වැටහී ගිය පසු අපට දර්ශනයට ඇතුළු විය හැකි,” බවයි ඔහු ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ පොරොන්දුව

එවැනි සාකච්ඡාවකට සුදුසු කල එළැඹි බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට වැටහී ගිය කල ඒ තොරතුරු ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමගින් බෙදා හදා ගන්නට විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පොරොන්දු වී තිබෙන බවත් ඔහු කියා සිටියේය.

ඒ අතරම, පමණට වඩා කලබල නොවන ලෙසත් ඔහු විදේශීය රටවලින් ඉල්ලීමක් ද කළේය

විදේශ අමාත්‍ය කුර්ශිඩ් හමු වූ විසි දෙනා අතර සිටි ‘නවමනි’ කර්තෘ එන් එම් අමීන් දිල්ලියේ සිට සංදේශයට කියා සිටියේ ඉන්දියාව මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින බවට ඉඟියක් පලවී දැයි මාධ්‍යවේදීන් අතර හැඟීමක් පැවති බවයි.

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගී කරවා ගැනීම සඳහා අනිකුත් පක්ෂවල විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන ලෙසත් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් මාධ්‍යවේදීන් හමුවේ ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.