ආනන්දි සසිධරන් 'ජිනීවා යවනවා'

  • 12 පෙබරවාරි 2014
'කාන්තා ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන්න ආනන්දි ජිනීවා යවනවා'

ලබන මාසයේ ජිනීවා නුවරදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ආනන්දී සසිධරන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරිය සහභාගි කර වීමට තීරණය කළ බව පළාතේ මහ ඇමතිවරයා ප්‍රකාශ කරයි.

සීවී විග්නේශ්වරන් මහ ඇමතිවරයා ඒ බව කියා සිටියේ නෝර්වේ තානාපති ග්රෙටේ ලෝකන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින්.

මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ඔහු සහභාගි වන්නේද යන්න මාධ්‍යවේදීන් ඔහුට යොමු කළ ප්‍රශ්නයයි.

"නැහැ නැහැ මම ජිනීවා යන්නේ නැහැ. අනික මට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට වඩා පළාතේ පරිපාලන කටයුතු මට වැදගත්," යනුවෙන් මහ ඇමතිවරයා කියා සිටියේය.

"දේශපාලන කටයුතු ගැන මන්ත්‍රීවරු බලා ගනීවි. ඒත් කාන්තා ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන්න ආනන්දි සසිධරන් ජිනීවා යවන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනව."

ආනන්දි සසිධරන් වවුනියාව, ත්‍රිකුණාමල දෙපලාතේ එල්ටීටීඊ දේශපාලන අංශ නායකයා වූ සින්නදුරෙයි සසිධරන් හෙවත් එලීලන්ගේ බිරිඳයි.

එල්ටීටීටීයට එරෙහි යුද්ධයෙන් අනතුරුව රටේ සංහිඳියාව ඇති කිරීම් වස් ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වූ බවට ආණ්ඩුවට චෝදනා කරන ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කරන බව දැනටමත් ප්‍රකාශයට පත් කොට තිබේ.