ජිනීවා යෝජනාව 'ශ්‍රී ලංකාවට එරෙහිව නොවේ'

  • 10 පෙබරවාරි 2014
ජිනීවා යෝජනා 'ශ්‍රී ලංකාවට එරෙහිව නොවේ'

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දුර්වල පාලනය නිසා බව එක්සත් ජාතික පක්ෂය (එජාපය) චෝදනා කරයි.

එහෙත් අදාළ යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කිරීම මගින් එක්සත් ජාතික පක්ෂය විදේශ බලවේගවලට උදවු කරමින් සිටින බවයි, ආණ්ඩුව පවසන්නේ.

ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලබන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට යෝජිත යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනවක් නොව ආණ්ඩුවට එරෙහි යෝජනාවක් බවයි, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ.

"ජිනීවාවල සැබෑ තත්වය ජනතාව දන්නේ නැහැ. බොහෝ මාධ්‍ය උත්සාහ කරන්නේ රට ආරක්ෂා කරන්න නෙමෙයි, ආණ්ඩුව ආරක්ෂා කරන්නයි," යනුවෙන්ද ඔහු පැවසීය.

'ඥාතීන් තානාපති සේවයට'

වර්තමානයේ ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ අපකීර්තියට ලක්වීමට ප්‍රධානම හේතුව දුර්වල තානාපති සේවය බව පවසන කිරිඇල්ල මන්ත්‍රීවරයා, තානාපති සේවයට පත්කර තිබෙන ඉහල නිලධාරීන්ගෙන් 40% ක්ම නුසුදුස්සන් බවද පවසයි.

"තානාපති සේවයට පත් කරලා තියෙන්නේ පවුලේ සාමාජිකයන්, ඥාතීන්, විශ්‍රාම ගිය දේශපාලකයන්, විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්. මේ අයට රාජ්‍යතාන්ත්‍රික භාවය ගැන කිසිම දැනුමක් නැහැ."

විපක්ෂය 'විදේශීය බලවේගවලට අවශ්‍ය පසුබිම වර්ධනය කරනවා'

ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලය ඉරිදා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙන බව පවසන මන්ත්‍රීවරයා, ලෝකයේ ප්‍රබලම රට වන ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට තිබෙන්නේ කවර සුදුසුකම්දැයි ප්‍රශ්න කළේය.

"ඇමරිකාවට පත් කළ යුත්තේ අපේ ඉන්න හොඳම තානාපති නිලධාරියාව. නමුත් අවුරුදු හතක් තිස්සේ ඉන්නේ තේ වෙළදාම කරන පවුලේ සාමාජිකයෙක්," බවයි, කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසන්නේ.

ජාත්‍යන්තර ප්‍රජාව මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රධානම හේතුව රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

"පසුගිය අවුරුදු දෙකේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු දේවස්ථාන සීයකට විතර පහරදීලා තියෙනවා. එක අවස්ථාවක වත් පහරදුන් අයට නිතිය ක්‍රියාත්මක වෙලා තියෙනවාද? ලෝකේ හැමතැනම මේවා වෙනවා. නමුත් වෙනස තියෙන්නේ ඒ රටවල පහර දුන් අයට නීතිය ක්‍රියාත්මක වීමයි."

එහෙත් එක්සත් ජාතික පක්ෂය විදේශීය බලවේගවලට අවශ්‍ය පරිසරය හා පසුබිම වර්ධනය කරන කරුණු ප්‍රකාශ කරමින් සිටින බවයි, ආණ්ඩුව පවසන්නේ.

යුද්ධය පැවති සමයේත් එජාපය කටයුතු කළේ මේ ආකාරයෙන්ම බවයි, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ.

"අපි යුද්ධයක් කරලා, ජාතීන් අතර සමගිය ඇති කරලා ඒක තව වර්ධනය කරන කොට, ඒකට එරෙහිව එන බලවේග වලට අපි මුහුණ දෙන කොට, අද විපක්ෂය කරන්නේ ඒකට සහාය දෙන්නේ නැතුව ඒක තව අවුල් කරන්නේ කොහොමද කියලා බලන එක," යනුවෙන්ද ඇමතිවරයා පැවසීය.

විපක්ෂය උත්සාහ කරන්නේ රටේ ස්වෛරීභාවය හෝ උකසට තබා දේශපාලන වාසි ගැනීමට බවයි, මාධ්‍ය හමුවට එක්ව සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ.