'ඩිනාර් දහයක් දෙන්නම් මාත් එක්ක හිටපන් කිවුවා'

10 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:11 GMT

හාම්පුතුන්ගේ හිරිහැර හමුවේ නිවෙස්වලින් පලා ගිය තමන්ට යලි සිය රට බලා යා නොහැකිව අතරමංව සිටින බව ජෝර්දානයේ අම්මාන් අගනුවර නිවසක සැඟ වී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ප්‍රකාශ කරති.

නිසි පරිදි වේතන නොගෙවීම සහ පහර දීම, ආහාර නොදීම මෙන්ම හාම්පුතාගේ අනුදැනුම යටතේ ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මීට මාසයකට පමණ පෙර තමන් සේවය කළ නිවාසවලින් පලා ගිය බවයි, කාන්තාවන් සිවු දෙනකු බීබීසී සංදේශයට කියා සිටියේ.

දහස ගණන් ලාංකික කාන්තාවෝ මැදපෙරදිග ගෘහ සේවය පිණිස පිටත්ව යති

ඔවුන් සියලු දෙනාම පානදුරේ සිට ජෝර්දානයේ සේවයට පැමිණි කාන්තාවන්.

"මට එක දවසක් වයර් කෝඩ් එකකින් ගැහුවා සර්. ඔලුව නිල් පාට වෙලා ගියා ඒ ගහපු පාරට," එක් කාන්තාවක මා හා පවසන විට වේදනාව සඟවා ගැනීමට ඇය දැරූ උත්සාහය දුරකතනයේ අනෙක් අන්තයේ සිටි මට නොදැනුනා නොවේ.

බලු කූඩුව පිරිසිදු කරන පුරුෂයා නිවසට පැමිණි විට නිවසේ හිමිකාරිය සිය කාමරයට වැදී දොර වසා ගෙන ඇයට ලිංගික අතවර කිරීමට උල්පන්දම් දුන් බවයි, ඇය පවසන්නේ.

'සිය ගණනක්'

"මට ගොඩක් දස වද දුන්න සර් ඊට පස්සේ මනුස්සයෙක් දම්මල මට කරදර කෙරෙවුව. මට කියනවා ඩිනාර් දහයක් දෙන්නම් මාත් එක්ක හිටපන් කියල. උඹගේ ... එක්ක හිටපන් කියල මම බැන්න. මම ඒ මිනිහට ගැහුවා සර්," යනුවෙන් ඇය පැවසුවේ හැඬු කඳුළු අතරින්.

"මම පිහියක් අතේ තියා ගෙන හිටියේ ඊළඟ සැරේ මට කරදරයක් කළොත් මම බෙල්ලම කපනවා කියල."

මෙසේ සැඟ වී සිටින අතරවාරයේ කිසියම් ලෙසකින් පොලිසියට කොටු වූයේ නම් තමන් යලි රැකියා ඒජන්සියට භාර දෙන බව පවසන එම කාන්තාවෝ, නීති විරෝධීව රටේ රැඳී සිටීම නිසා වෙනත් රැකියාවක් කිරීමේ හැකියාවක් නොමැති බවද පවසති.

එසේ සිය නිවාසවලින් පලා යන ශ්‍රී ලාංකික කාන්තාවන් සිය ගණනක් ජෝර්දානයේ අතරමංව සිටින බවයි, ඔවුන් පවසන්නේ.

එවැනි අතවර හමුවේ අම්මාන් නුවර තානාපති කාර්යාලයට ගිය විට එහි නිලධාරීන් තමන් යලි ඒජන්සියට භාර දෙන බව ඔවුන්ගේ චෝදනාවයි. ඉන් අනතුරුව රැකියා ඒජන්සිය බොහෝ විට තමන් යලි පැරණි හාම්පුතාටම භාර දෙන බැවින් තමන්ට සිදු වන්නේ කබලෙන් ලිපට වැටීමට බව ඔවුහු පවසති.

'බොරු චෝදනා'

එහෙත් එම චෝදනාව සත්‍යයෙන් තොර බව තානාපති කාර්යාලයේ කම්කරු කටයුතු භාර නිලධාරී යාපා පතිරණ බීබීසී සංදේශයට කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන අවස්ථාවේදීම හාම්පුතා මෙහෙකාරියට කිසියම් මුදලක් ගෙවන බව පවසන ඔහු, රැකියා ඒජන්සිවලට ගෙවන මුදලද ඇතුළුව රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් අදාළ හාම්පුතා විසින් වියදම් කොට තිබෙන බව පවසයි.

එබැවින් මෙහෙකාරියක නිවසින් පලා ගිය විට තමන් ගෙවූ මුදල ආපසු හාම්පුතාට ලබා දෙන තුරු ඇයට රටින් පිට වීමේ වීසා බලපත්‍රයක් නොලැබෙන බවයි, තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් යාපා පතිරණ සංදේශයට කියා සිටියේ.

රටේ පවත්නා නීතියට පරිබාහිරව කටයුතු කිරීමට තමන්ට හැකියාවක් නොමැති නමුත්, ලිංගික අතවරයක් පිළිබඳ චෝදනාවක් එල්ල වූ විට තානාපති කාර්යාලය වහාම ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.