නැවත පදිංචිය ගැන පැමිණිලි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 9 ඉරිදා - 18:11 GMT

යළි පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් සහ නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් පූනානි හි සෙවිලි තහඩු බෙදමින්

මඩකලපුව, පොළොන්නරු මායිමේ පිහිටි පූනානි ගමේ නැවත පදිංචි කිරීමේ දී සිය පාරම්පරික ඉඩම් අහිමි වීමේ අවදානමට මුහුණ පා සිටින බවට යුද පීඩිත පවුල් කිහිපයක් කනස්සල්ල පළ කරයි.

පිට පළාත් වලින් කැඳවා ගෙන ආ සිංහල පවුල් සිය ගමේ පදිංචි කරවීමට යුද හමුදාව සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෑයම් කරන බව යි නැවත පදිංචියට ගිය මුල් පදිංචි කරුවන් සහ දෙමළ ජාතික සන්ධානය පවසන්නේ.

ඔවුන් පවසන පරිදි පවුල් දොළහකට අයත් ඉඩම් වල හමුදා කඳවුරක් පිහිටුවා තිබෙන හෙයින් රජය විසින් ඉඩම් ලබා දී ඇත්තේ යාබද වෙනත් පලාතකින්.

නැවත පදිංචි කරවීමට තෝරා ගනු ලැබූ පවුල් වලට පර්චස් විස්ස බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉඩම් ලබා දී තිබුනත් සිංහල පවුල්වලට පදිංචියේ ප්‍රමුඛතාව ලබා දී ඇතැයි යන්න දෙමළ පවුල් වල චෝදනාවයි.

වන සංරක්ෂණ භූමියේ

පූනානි ගණදෙවි කෝවිල ඉදිරිපිට ඉදිකර ඇති බුදු පිළිමයක්

තමන්ට පහත් බිම් ප්‍රදේශ වෙන් කර, වඩා හොඳ ඉඩම් යුද හමුදාව මැදිහත් වීමෙන් සිංහල පවුල් වලට ලබා දීමට බලධාරීන් පියවර ගනිමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.

යුද ගැටුම් හේතුවෙන් 1990 දී පූනානි යෙන් ඉවත් වූ පවුල් යළි පදිංචි කිරීමේ කටයුතු නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ආරම්භ කළ අවස්ථාවේ පවුලකට ලබා දී තිබුනේ සෙවිලි තහඩු අටක් හා සිමෙන්ති උර දොළහක් බැගින්.

මීට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියක නීති විරෝධී පදිංචි කරුවන් දස දෙනකුට විරුද්ධ නඩු පවරා ඇතැයි දිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී ඩී පී ප්‍රසාද් තමන් ට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පී. සෙල්වරාසා කියා සිටියේය.

ගම් වාසීන්ගේ පැමිණිලි පිළිබඳව සොයා බැලීමට පූනානි ප්‍රදේශයට ගිය අවස්ථාවේ ලැබුණු තොරතුරු අනුව තවත් පවුල් 38 ක් සංරක්ෂිත වනයේ ඉඩම්වල පැල්පත් ඉදි කොට නීති විරෝධී ලෙසින් පදිංචි වී සිටින බවට දැනුම් දීමෙන් අනතුරුව එම පියවර ගෙන ඇති බවයි, සෙල්වරාසා මන්ත්‍රීවරයා පැවසුවේ.

පදනම් විරහිත චෝදනා

නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් පසු ගිය සතියේ මෙම ප්‍රදේශයේ සෙවිලි තහඩු හා සිමෙන්ති බෙදා දීමේ උත්සවයක දී කියා සිටියේ හමුදාව නිසා අඩු වියදමින් නිවාස ඉදි කිරීමට හැකි ව තිබෙන බවයි.

බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය

“හමුදාව ඉවත් කළොත් ගෙවල් හදන්නේ කවු’දැ?” ඔහු ප්‍රශ්න කොට තිබුනි.

යුද පීඩිතයන් පූනානියේ නැවත පදිංචි කරවීමේ දී අයුතු බල පෑම් කරන බවට එල්ල වන චෝදනා රජයේ යුද හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ පදනම් විරහිත බව සඳහන් කරමින්.

දෙමළ ගම් වාසීන්ගේ ඉඩම් වල ඉදි කොට ඇති බවට චෝදනා කැරෙන යුද කඳවුර දශක කීපයක් තිස්සේ පැවති බව යි සංදේශය කළ විමසීමක දී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ.

‘සියලු ජාතීන් අතින් අත ගෙන ජීවත් වන ඒ ප්‍රදේශයේ මෙවැනි චෝදනා එල්ල කිරීමට සුදුසු පසුබිමක් තිබේදැ’ යි ප්‍රශ්නයක් පැන නගින බව හමුදා ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේය.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.