මෙල් ඝාතනයේ සැකකරුවෙක් අත් අඩංගුවේ

2 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:06 GMT

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු ඉරිදා රාත්‍රියේ දොම්පේ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැම්සන් ජෝසෆ් ඇන්තනි නම් සැකකරු අත ඝාතනයට ලක් වූ මාධ්‍යවේදිනියගේ බ්ලැක්බෙරි ජංගම දුරකතනයද තිබූ බව පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානයේ නිලධාරියෙක් සංදේශයට පැවසීය.

මෙල් ගේ දුරකතනය 'සැකකරු අතේ තිබුණා'

මෙල් ගුණසේකරගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වන ජනමාධ්‍ය සංවිධාන, තවත් ඝාතන රැල්ලක් මතුවෙමින් පවතීදැයි බිය පළ කරති.

ඇයගේ මාධ්‍ය කලාව සහ ඝාතනය අතර සම්බන්ධයක් තිබේ දැයි සොයා බලා මාධ්‍යවේදීන්ගේ සැක සහ බිය දුරු කිරීම පොලිසිය ඇතුළු නීතිය පසිඳලන බලධාරීන්ගේ වගකීම බව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර සංදේශයට පැවසීය.

ජාත්‍යන්තර ව්‍යාපාර වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටින් හි සහකාර උප සභාපතිනිය වූ මෙල් ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වාර්තා කරන මුල් පෙලේ වෙබ් අඩවියක් වන ලංකා බිස්නස් ඔන්ලයින් අන්තර්ජාල ප්‍රකාශනයේ ආරම්භක කතුවරියයි.

සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ව්‍යාපාර කටයුතු ලේඛිකාව ලෙසින් කලක් කටයුතු කළ ඇය පස් වසරක් තිස්සේ වාර්තා කරණයේ නිරත වුනේ AFP ප්‍රංශ පුවත් සේවයේ.

සන්ඩේ ලීඩර් පුවත්පතට ව්‍යාපාරික කටයුතු වාර්තා කළ මන්දනා ඉස්මයිල් සහ ෆරාස් ශවුකතලි මීට ඉහත දී ප්‍රහාරවලට ලක් විය.

ඉරිදා උදෑසන ඇය මරා දමා තිබුණු ආරංචිය ලබා පවුලේ නිවහනට ගිය සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු අද දවස හැඳින්වුයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය දැඩි කම්පනයකට පත් වූ දිනයක් ලෙසින්.