ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය ලංකාවට 'ඇඟිලි ගැසීමක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජනවාරි 31 සිකුරාදා - 13:48 GMT

"සංහිඳියාව ඇති කිරීමේ 'ස්වර්ණමය අවස්ථාවෙන්' ශ්‍රී ලංකාව ප්‍රයෝජන ගෙන නෑ"

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කරන්නේ 'බලහත්කාරයෙන් ඇඟිලි ගැසීමේ සහ උපදෙස් දීමේ' ආකල්පයක් බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

තෙදින නිල සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය, නිශා බිස්වාල්, හමු වූ අවස්ථාවේ විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් ඒ බව සඳහන් කළ බවයි, විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය අනුගමනය කරන ක්‍රියාමාර්ගය සහ වෙනත් රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත අතර වෙනසක් තිබෙන බවද විදේශ අමාත්‍යවරයා නිශා බිස්වාල්ට දැනුම් දී තිබේ.

'ස්වර්ණමය අවස්ථාව'

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මාර්ගයෙන් එක්සත් ජනපදය විසින් 'දිගින් දිගටම ශ්‍රී ලංකාව හඹා යාම' මගින් ශ්‍රී ලංකාවේ ජනවර්ග තවදුරටත් බෙදා වෙන් කෙරෙනු ඇති බව පැවසූ විදේශ අමාත්‍යවරයා, විශේෂයෙන්ම ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය රටේ දැඩි මතධාරීන් තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වූ බවද සඳහන් කොට තිබේ.

'අපිට හැකි ආකාරයෙන් අපි ඇයට දැන් තිබෙන තත්වය පහදලා දුන්න'

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවට එරෙහි රහසිගත න්‍යායපත්‍රයක් එක්සත් ජනපදයට නැති බව සහකාර රාජ්‍ය ලේකම්වරිය අමාත්‍යවරයාට ප්‍රකාශ කළ බවද නිවේදනයේ සඳහන්.

යුද ගැටුම්වලින් අනතුරුව සංහිඳියාව ඇති කිරීමේ 'ස්වර්ණමය අවස්ථාවෙන්' ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව 'දැඩි කලකිරීමට' පත් වී සිටින බවයි, ඇය පවසා තිබෙන්නේ.

ශ්‍රී ලංකාව සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගැනීම ඇමෙරිකාවේ අභිප්‍රාය වුවද, යුද්ධයේ තුවාල සුව කිරීම් වස් ප්‍රගතියක් දැක්වීමට ශ්‍රී ලංකාව අපොහොසත්වීම පිළිබඳව බරපතල අවධානය පළ වී ඇතැයි ජීඑල් පීරිස් අමාත්‍යවරයාගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් නිශා බිස්වාල් සහකාර ලේකම්වරිය ප්‍රකාශ කොට තිබේ.

සහකාර රාජ්‍ය ලේකම්වරිය දෙමළ ජාතික සන්ධානයද හමු වී සාකච්ඡා පැවැත්වූ බව එහි නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.

"ඇය ආවේ පොරොන්දු දෙන්න නෙවෙයි, ඇය ආවේ තත්වය තේරුම් ගන්න. අපිට හැකි ආකාරයෙන් අපි ඇයට දැන් තිබෙන තත්වය පහදලා දුන්න. අපි ඉදිරිපත් කළ කරුණු පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු වේවි කියල අපි විශ්වාස කරනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

යුද අපරාධ සම්බන්ධ චෝදනා විභාග කිරීම පිණිස ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් එළඹෙන මාර්තුවේදී මානව හිමිකම් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් ජනපදය පසුගියදා සනාථ කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.