ඉන්දීය ධීවරයෝ පන්න ක්‍රම දෙකක් අත් හිටුවති

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජනවාරි 28 අඟහරුවාදා - 18:40 GMT

චෙන්නායි හි පැවති ඉන්දු ලංකා ධීවර සාකච්ඡා වලින් පසු

සාගර සම්පතට හානිකර ධීවර පන්න ක්‍රම දෙකක් වහාම අත් හිටුවීමට ඉන්දීය ධීවරයන් තීරණය කොට තිබේ.

හැඹිලි දැල් සහ ද්විත්ව ට්‍රෝලින් යොදා ගෙන මසුන් මැරීම නැවැත්වීමට සඳුදා තමිල්නාඩුවේ පැවති ඉන්දු ලංකා සාකච්ඡා වලින් පසු ඉන්දීය ධීවරයන් තීරණය කළ බවයි නිරපරාදේ අත් අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා වන සන්ධානයේ සභාපති යු අරුලානන්දම් බීබීසී යට කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් සාකච්ඡා වලින් අනතුරුව කියා සිටියේ ශ්‍රී ලංකා සාගර කලාපයේ මසුන් මැරීම අත් හිටුවීමට ඉන්දීය ධීවරයන් තමිල්නාඩුවේ පැවති සාකච්ඡාවල දී එකඟ වූ බවයි.

ලංකා මුහුදු තීරය

ට්‍රෝලර් බෝට්ටුවක්

ඉන්දීය ධීවර නායක අරුලානන්දම් ප්‍රකාශ කළේ ඉදිරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ධීවර නියෝජිත සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමේ අයිතිය අහිමි කර ගනු වෙනුවට හානිකර පන්න ක්‍රම අත් හිටුවීම සුදුසු යයි තමන් විශ්වාස කරන බවයි වැඩි දුරටත් සඳහන් කළේ.

ට්‍රෝලර් දැල් ඇතුළු තහනම් දැල් පන්න අත් හිටුවීම ලාංකික ධීවරයන්ගේ දැඩි ඉල්ලීමක් වූ බව කී යූ අරුලානන්දම් ‘ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න නම් ඒ දැල් පන්න නතර කිරීම අවශ්‍ය,’ යැයි තීරණය කළ බවයි කියා සිටියේ.

අත් අඩංගුවට

“ට්‍රෝලින් දැල් පාවිච්චිය අපි වහාම මාසෙකට අත් හිටුවනවා. මේකට ලංකාවේ අය හරියට සන්තෝස වුනා,” යි ඉන්දීය ධීවර නායකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් මේ මස මැද දී දිල්ලියේ පැවති ඉන්දු ලංකා සාකච්ඡා වලින් අනතුරුව මෙතැන ඔබන්න​ ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම නතර නො කරන බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.