ඝාතකයාටත් අනුකම්පා කළ අගමැති බණ්ඩාරනායක

  • 24 ජනවාරි 2014

කලක් දහස් ගණනක් ගිලනුන් සුවපත් කළ ළමා රෝග පිළිබඳ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ප්‍රනාන්දු දැන් වියපත්ව පාළු ගොඩනැගිල්ලක තනිව දිවි ගෙවමින් සිටින්නීය.

සුවපත් කළ දහස් සංඛ්‍යාත රෝගීන් මෙන්ම, සුවපත් කිරීමට නොහැකි වූ රෝගීන් බොහෝ දෙනෙක් ගැනත් අසූ එක් හැවිරිදි ඇයට තවමත් මතකයි.

අගමැති මැදුරේදී භික්ෂුන් වහන්සේ නමක ගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක අගමැතිවරයා ඒ අතරින් කෙනෙක්.

අගමැතිවරයා රෝහලට රැගෙන එන අවස්ථාවේ කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක් වූ ඇය, තමන්ට වෙඩි තැබූ භික්ෂුන් වහන්සේට පවා අගමැති බණ්ඩාරනායක අනුකම්පාව දැක් වූ ආකාරය සිහිපත් කළාය.

"අපි ඔක්කොම දුව ගෙන ආව. එතකොට බණ්ඩාරනායක මහත්තය මොකද්ද දන්නවද කිවුවේ? සිවුර දාගත්ත මෝඩ මිනිහෙක්, බලන්න හාමුදුරු කෙනෙක් කිවුවේ නෑ - සිවුර දාගත්ත මෝඩ මිනිහෙක් මට වෙඩි තිබ්බ කිවුව," යනුවෙන් ඇය මතකය අවදි කළේ තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන ඇය හමු වීමට ගිය මොහොතේ.

"පලි ගන්න එපා කිවුව"

පොළොන්නරුව කජුවත්තේ මහලු නිවාසයේ අද ඇගේ තනියට සිටින්නේ නිරන්තරයෙන් ඇය වටා කර කවෙන බල්ලන් සහ බළලුන් පමණයි.

දන්ත වෛදවරයකුව සිටි ඇගේ සැමියාත් මීට වසර කිහිපයකට පෙර මෙලොව හැර ගිහින්.

මහලු නිවාසයේ ආරක්ෂාව සහ මූලික පහසුකම්වල බොහෝ අඩුපාඩු කම් තිබුණත්, පළාතේ පොඩි දරුවන් සමඟ සිය දැනුම බෙදා ගනිමින් තමන්ගෙන් සමාජයට සිදුවිය හැකි මෙහෙය කවරක් දැයි තවත් ලතැවෙන බවත් වියපත් විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියාය.