බලාගාර බිඳ වැටීම නිසා 'වැඩි මිලට විදුලිය ගන්න වෙලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජනවාරි 21 අඟහරුවාදා - 13:27 GMT

'කල් ඉකුත් වෙච්ච්, ගලවා ඉවත් කළ බලාගාරයක් සරසා අටෝප කරල ගෙනල්ල හයිකරලා තියෙනවා'

චීන සමාගමක් විසින් ඉදි කොට 2011 මාර්තු මාසයේ ආරම්භ කළ නොරොච්චෝලේ විදුලි බලාගාරය පසුගිය පස් වැනිදා විසි හය වැනි වරටත් අක්‍රිය වූ අතර කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ එක් කොටසක්ද පසුගිය බ්‍රහස්පතින්දා අක්‍රිය විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියට මෙගා වොට් 355 ක විදුලි ධාරිතාවක් අහිමි වීම හේතුවෙන් පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවී ඇති බව වෘත්තීය සමිති පවසති.

විශේෂයෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීම් හේතුවෙන් බලාපොරොත්තු වූ පරිදි මේ වසරේ විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැකි බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

"නොරොච්චෝලේ විදුලි බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම නිසා රු 9.50 ට විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව අහිමි වී පෞද්ගලික තාප බලාගාරවලින් සහ විදුලි බිල මණ්ඩලේ තාප බලාගාර වලින් රුපියල් 28 කට වගේ විදුලිය ජනනය කිරීමට සිදුවී තිබෙනවා," යනුවෙන් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර බීබීසී සංදේශයට කියා සිටියේය.

බලාගාර වල බිඳ වැටීම් හේතුවෙන් දැවි තෙල් සහ ඩීසල් යොදා විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බවද ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පෙන්වා දෙයි.

'ගලවා ඉවත් කළ බලාගාරයක්'

"විදුලි බල මණ්ඩලයේ බලධාරීන් උත්සාහ දරමින් තිබුනා විදුලි බිල අඩු කරලා විශේෂයෙන් විදුලි බිලට එකතු කර ඇති ඉන්ධන ගැලපුම් ගාස්තුව සම්පුර්ණයෙන්ම අයින් කරන්න. නමුත් තාප විදුලි බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක වීම තුල මේ සිහිනය අද බිඳ වැටී තිබෙනවා," යනුවෙන්ද බන්දුල චන්ද්‍රසේකර සඳහන් කළේය.

"සමහරවිට චීනයේ භාණ්ඩවල තත්වය පිළිබඳව යම් ප්‍රශ්න තිබෙනවා, ජර්මනියේ හදපු කාර් එකක් වගේ නෙවෙයිනේ චීනයේ හදපු එක"

විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනජිත් දසනායක

ජල විදුලිය නිෂ්පාදනයද මේවන විට පහත වැටී ඇති හෙයින්, වර්ෂාව නොලබුනහොත් ඉදිරියේදී රාත්‍රී කාලයේදීත් විදුලිය කප්පාදු කිරිමක්ද සිදුවිය හැකි බවටද ඔහු අනතුරු අඟවයි.

"නොරොච්චෝලේ අඩු ප්‍රමිතියකින් යුතු බලාගාරයක්. එහි පරිපාලනය සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. චීන සමාගම නිසි පරිදි ඒ තාක්ෂණය ඉංජිනේරුවන්ට ලබා දීලා නැහැ."

නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කිරීමේදී සිදුවූ වංචා සෙවීමට කොමිසමක් පත් කළ යුතු බවට ලංකා විදුලි සේවක සංගමය මේ අතර ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මෙම බලාගාරයේ රාජකාරිය සදහා චීනයේ පුහුනුවිමවල යෙදුනු තම සංවිධානයේ සාමාජිකයන් පවසන පරිදි, චීනයේ ස්ථාපිත තිස් පස් වසරක් පමණ පැරණි බලාගාර ඔවුන් එහි රැඳී සිටි මාස හය තුල එක්වරක් වත් අක්‍රිය නොවීමත්, ශ්‍රී ලංකාවේ ස්ථාපිත බලාගාරය වසර තුනක් තුල 26 වතාවක් අක්‍රිය වීමත් අනුව, එහි දූෂණයක් සිදුව ඇති බව පෙනී යන්නේ යයි එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි.

"නොරොච්චෝලේ ඇයි මෙහෙම වෙන්නේ? ඉතාමත් පැහැදිලියි කල් ඉකුත් වෙච්ච්, ගලවා ඉවත් කළ බලාගාරයක් සරසා අටෝප කරල ගෙනල්ල හයිකරලා තියෙනවා," යනුවෙන්ද රන්ජන් ජයලාල් කියා සිටියේය.

'විදුලි කප්පාදුවක් නෑ'

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනජිත් දසනායක වෘත්තීය සමිති නගන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

නොරෝච්චාලේ බලාගාරයේ අදියර දෙක වෙනුවෙන්ම යොදා ගෙන ඇත්තේ නව යන්ත්‍ර බවයි, ඔහු සංදේශයට කියා සිටියේ.

නොරොච්චෝලේ විදුලි බලාගාරය දිගින් දිගටම බිඳ වැටීමට හේතුව එහි යල් පැනගිය පැරණි යන්ත්‍ර සවිකිරීම දැයි සංදේශය ඔහුට යොමු කළ ප්‍රශ්නයක්.

"එහෙම කියන්න බැහැ. සමහරවිට චීනයේ භාණ්ඩවල තත්වය පිළිබඳව යම් ප්‍රශ්න තිබෙනවා, ජර්මනියේ හදපු කාර් එකක් වගේ නෙවෙයිනේ චීනයේ හදපු එක?" යන්න ඒ ප්‍රශ්නයට ඔහුගේ ප්‍රතිචාරයයි.

විදුලි බලාගාර අක්‍රිය වුවත් රටට අවශ්‍ය ප්‍රමාණයට විදුලිය ජනනය කිරීමට හැකියාව තිබෙන බැවින් විදුලිය කප්පාදු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද විදුලි බල මණ්ඩලය අවධාරණය කරයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.