ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආගම් විරෝධී කළහකාරීන් අතර ‘භික්ෂුන් වහන්සේ’

13 ජනවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:00 GMT

ආගමික මධ්‍යස්ථාන දෙකකට සති අන්තයේ පහර දීම පිලිබඳ ව සැක කැරෙන විසි හතර දෙනකු හඳුනා ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ බීබීසී සංදේශය ට කියා සිටියේ හික්කඩුවේ ක්‍රිස්තියානි දේවස්ථාන දෙකකට හානි කිරීම ට ‘සෘජුවම මැදිහත් වුවන් අතර’ බෞද්ධ භික්ෂුන් වහන්සේ අට නමක් ද ඉන්නා බවයි.

භික්ෂුන් වහන්සේ කැටුව පැමිණි කලහකාරී පිරිසක් බද්දේගම ලංකා දේව සභා සංගම් දේවස්ථානයටත් සහ කල්වාරි නිදහස් සභාවට ඉරිදා පහර දෙනු වීඩියෝ දර්ශන වල දැක්විණි.

වීඩියෝ දර්ශන මෙන් ම ‘සිද්ධිය සියැසින් දුටුවන් ගේ සාක්ෂි සහ පරිවේශනීය සාක්ෂි’ සැක කරුවන් හඳුනා ගැනීමට යොදා ගත් බව සඳහන් කළ අජිත් රෝහණ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි වරයා, ආගම ඇදහීමේ නිදහස සැම දෙනා සතු අයිතියක් බව ද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ආගම නිදහසේ ඇදහීමට නම් එම ආයතනය ලියාපදිංචි විය යුතු බවයි, මීවනපලානේ ධම්මරතන හිමියන් සඳුදා මාධ්‍ය වේදීන් හමුවේ කියා සිටියේ.

පොලිසියේ බලය

පහර කෑමට ලක්වූ යාඥා මධ්‍යස්ථාන දෙක වසා දැමීමට පොලිසිය පියවර නො ගත් හෙයින් තමන් මැදිහත් වූ බවයි ගාල්ල හෙළ බොදු පවුරේ ජාතික සංවිධායක ධුරය උසුලන එ හිමියන් ප්‍රකාශ කළේ.

බද්දේගම ලංකා දේව සභා සංගම් දේවස්ථානයත්, බද්දේගම කල්වාරි නිදහස් සභාවත් වසා දමන ලෙස රජයේ බලධාරීන්ගෙන් මේ වන විටත් නියෝග ලැබී ඇතැයි පවසන දේවගැතිවරුන් කියා සිටින්නේ පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත තම ආයතන නීති විරෝධී නොවන බවයි.

සාමය කඩවීමේ තර්ජනයක් නොමැති නම් ආගමික මධ්‍යස්ථානයක කටයුතු වලට අවහිර කිරීමට ‘පොලිසියට කිසිම හැකියාවකුත්, නෛතික බලයකුත්,’ නැති බවයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළේ.