ඉන්දු ලංකා ධීවර සාකච්ඡා ‘ස්ථිර නැහැ’

  • 12 ජනවාරි 2014
2010 අගෝස්තු පැවති ඉන්දු ලංකා ධීවර නියෝජිත සාකච්ඡා

ඉන්දු ලංකා ධීවර නියෝජිතයන් අතර තමිල්නාඩුවේ දී ජනවාරි විසි වැනිදා සාකච්ඡා පැවැත්වීම ස්ථිර නැතැයි ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යවරයා පවසයි.

තමිල්නාඩු මහ ඇමතිනිය ඉන්දීය විදේශ අමාත්‍ය වරයා මුණගැසීමෙන් අනතුරුව ඉකුත් මාසයේ ප්‍රකාශයට පත් කොට තිබුනේ ජනවාරි විසි වැනිදා චෙන්නායි නුවර දී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස දෙ රටේ ධීවරයන් තමන් මුහුණ පා සිටින ගැටළු ගැන සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

ඉන්දීය ජාතික ධීවර සම්මේලනයේ සභාපති එම් ඉලංගෝ ඒ බව බීබීසී දෙමළ සේවයට තහවුරු කොට සිටියේය.

ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් පහලොස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් සාකච්ඡා සඳහා සහභාගි වීමට තෝරා ගෙන තිබෙන බවයි, ධීවර අමාත්‍යංශ උපදේශක සහ ඉන්දු ලංකා ධීවර සමිති සම්මේලනයේ ශ්‍රී ලංකා කැඳවුම්කරු එස් පී අන්තෝනිමුත්තු ඉකුත් සති අන්තයේ බීබීසී සංදේශයට පැවසුවේ.

මහ ඇමතිනි ජයලලිතා විසින් සෙනසුරාදා රාත්‍රියේ නිකුත් කළ ප්‍රකාශයකින් කියා තිබුනේ තමිල්නාඩුවේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකික ධීවරයන් 179 දෙනකු නිදහස් කිරීමට තීරණය කොට ඇති බවයි.

ජයලලිතා 'බාධාවක්'

රඳවා ගෙන සිටින ඉන්දීය ධීවරයන් දහ තුන් වැනි සඳුදා සිට නිදහස් කරන බව ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජය මගින් දැනුම් දී ඇති හෙයින් 'හොඳ හිත පානු පිණිස' ලාංකික ධීවරයන් ද නිදහස් කරන බවයි මහ ඇමැති ජයලලිතා කියා තිබුනේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහ ඇමතිනිය හැඳින්වුයේ 'ධීවර ගැටළු විසඳා ගැනීමට බාධාවක්' ලෙසයි.

බීබීසී දෙමළ සේවයේ ජෙයප්‍රගාෂ් නල්ලුසාමි හට අමාත්‍ය සේනාරත්න ඉරිදා කියා සිටියේ තමිල්නාඩුවේ පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශයේත් ලාංකික ධීවරයන් සිරගත කොට සිටින බවයි.

ඔවුන් සැම දෙන නිදහස් කරන තුරු ශ්‍රී ලාංකික අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් නිදහස් නොකැරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත්, ජනවාරි පහළොස් වැනිදා දිල්ලි නුවර දී තමන් ධීවර කටයුතු භාර ව කටයුතු කරන ඉන්දීය කෘෂිකර්ම අමාත්‍ය ෂාරද් පවාර් මුණ ගැසෙන බවත් එහි දී තමිල්නාඩු ධීවරයන් මුණ ගැසීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර