යුද අපරාධ සියැසින් දුටුවන් හමු වුනා - ඇමෙරිකාව

  • 12 ජනවාරි 2014
"නීතියේ ආධිපත්‍යය රජයන, එක්සත් වූ රටක් ලෙස ඉදිරියට යාම වැදගත්"

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ යුද අපරාධ පිළිබඳ ඇමෙරිකානු තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝණ ඇසින් දුටු සාක්ෂිකරුවන් හමු වී සාකච්ඡා පැවැත්වූ බව එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

ස්ටීවන් ජේ රැප් ගේ පස් දින ශ්‍රී ලංකා සංචාරය අවසානයේ නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය, යුද ගැටුම්වල අවසාන සමයේ සිදු වූ උල්ලංඝණ පිළිබඳ ඇසින් දුටු සාක්ෂිවලටද සවන් දීමට ඔහුට අවස්ථාව ලැබුණු බවද පවසයි.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණ පවත්වා සත්‍යය හෙළිදරව් කර ගන්නා ලෙසත්, අදාළ අවස්ථාවලදී වැරදි කරුවන්ට දඬුවම කරන ලෙසත් එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් නිවේදනයේ සඳහන්.

'ප්‍රගතියක් නෑ'

ඉදිරි මාර්තු මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් යෝජනාවක් ඉදිරිපත් කරන බව තානාපති රැප් දෙමළ ජාතික සන්ධානයට පවසා තිබේ.

ජාතික සංහිඳියාව සහ වගකීම් සහගත බව පිළිබඳ ව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අපොහොසත් වීම නිසා නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාවලියක් ගෙන ඒමට අනුග්‍රහය දක්වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව පසුගිය සතියේ සංදේශයට කියා සිටියාය.

මාර්තු මාසයට පෙර විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සලකා බැලීමට සිදු වනු ඇති බවට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද මීට ඉහතදී අනතුරු ඇඟවූහ.

එහෙත් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා ආණ්ඩුව, එවැනි පරීක්ෂා සඳහා තවත් කාලය අවශ්‍ය බව ප්‍රකාශ කරයි.