ඇමරිකාවෙන් ‘ජාත්‍යන්තර පරීක්ෂණ’ යෝජනාවක්

  • 7 ජනවාරි 2014
යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන රජය පවසන්නේ තමන් 'මානුෂික මෙහෙයුමක්' දියත් කළ බවයි.

ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ සංවිධානය පරදවා ලූ යුද්ධයේ දී සිදු වූ යුද අපරාධ පිළිබඳ චෝදනා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකින් විභාග කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන් හමුවට ගෙන ඒමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

මාර්තුවේ රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී යෝජනාව ගෙන ඒම සඳහා තවත් රටවල් 47ක් සමග සාකච්ඡා කරන වග යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ස්ටීවන් ජේ රැප් අඟහරුවාදා තමන් සහ මාවයි සේනාධිරාජා මන්ත්‍රීවරයා සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බවයි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමග කියා සිටියේ.

දමිළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළ පරිදි ඉකුත් මාර්තුවේ දී මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාවෙන් ඉල්ලා තිබුණු පරිදි ශ්‍රී ලංකාවේ රජය යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර නො ගත් බව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගැනීමයි.

ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් සඳහා යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජනපදය පෙළඹී ඇත්තේ ඒ නිසා බවයි සුමන්දිරන් මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේ.

එල්ටීටීඊ යට එරෙහි චෝදනා

ශ්‍රී ලංකාවේ රජයට මෙන් ම එල්ටීටීඊ සංවිධානයට ද එල්ල වන යුද අපරාධ පිළිබඳ චෝදනා එවැනි පරීක්ෂණයකින් විමර්ශනය කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි.

2009 මැයි මාසයෙන් පසු උතුරේ දෙමළ ජනතාවට එරෙහිව සිදු වන පීඩා පිළිබඳ ව විභාග කිරීමට යොමු වන ලෙස ද දමිළ ජාතික සන්ධානය යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති වරයා ගෙන් ඉල්ලා සිටි බවත් සුමන්දිරන් මන්ත්‍රී වරයා කියා සිටියේය.

එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග පැවැත්වූ සාකච්ඡාවට සවන් දෙන්න බදාදා සංදේශයෙන්.