යුද අපරාධ පිළිබඳ ඇමෙරිකානු තානාපති ශ්‍රී ලංකාවේ

  • 6 ජනවාරි 2014
ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන සිතා බැලීමට සිදු වනු ඇතැයි ඇමෙරිකාව අනතුරු අඟවා තිබේ.

යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති ස්ටීවන් ජේ රැප්, පස් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ලඟා වී සිටී.

ගෝලීය අපරාධ යුක්ති විනිශ්චය සම්බන්ධ තානාපතිවරයා වශයෙන් ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කරන දෙවැනි වතාව මෙය බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය, වගවීම සහ සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව ආණ්ඩුවේ නායකයන් සහ දේශපාලන හා සිවිල් සමාජ නායකයන් සමඟ ඇමෙරිකානු නියෝජිතයා සිය සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් වගකිවයුත්තන් සොයා දඬුවම් කිරීමට අපොහොසත්වීම පිළිබඳව එළැඹෙන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජනපදය සැරසෙන බවට වාර්තා පළ වෙමින් තිබෙන අතරවාරයේයි, ස්ටීවන් ජේ රැප් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ.

ලබන මාර්තු මාසය වන විට විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට අපොහොසත් වන්නේ නම්, ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය මතු කිරීමට සිදු වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෙන්ම මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ද අනතුරු අඟවා තිබේ.

එවැනි ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට සිය රටේ අධිකරණ පද්ධතියට හැකියාව තිබෙන බව අවධාරණය කරන ශ්‍රී ලංකා ආණ්ඩුව, ඒ සඳහා තවත් කාලය අවශ්‍ය බවද ප්‍රකාශ කරයි.