ඉන්දු-ලංකා ධීවර සාකච්ඡාවලට 'පළපුරුදු ධීවරයන් නෑ'

  • 5 ජනවාරි 2014
ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් පහලොස් දෙනෙක් (පැරණි සාකච්ඡාවක්)

මේ මස ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඉන්දු ලංකා රාජ්‍ය හා ධීවර නියෝජිත හමුවලින් දෙරටේ ධීවරයන්ගේ ගැටළුවලට විසඳීමක් ලැබෙනු ඇතැයි ධීවර අමාත්‍යාංශ උපදේශකයකු පවසන නමුත් පළපුරුදු ධීවර නියෝජිතයන්ගෙන් තොරව සාකච්ඡා සාර්ථක වන්නේ කෙසේ දැයි ධීවර නායකයෝ ප්‍රශ්න කරති.

දෙරටේ ධීවර නියෝජිතයන් අතර ජනවාරි 20 වැනිදා තමිල්නාඩු අග නුවරදී සාකච්ඡා ඇරඹෙන බව, ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් ඉකුත් දා ප්‍රකාශ කොට තිබුණි.

ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් පහලොස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් සාකච්ඡා සඳහා සහභාගි වීමට තෝරා ගෙන තිබෙන බව, ධීවර අමාත්‍යංශ උපදේශක සහ ඉන්දු ලංකා ධීවර සමිති සම්මේලනයේ ශ්‍රී ලංකා කැඳවුම්කරු එස්පී අන්තෝනිමුත්තු බීබීසී සංදේශයට පැවසීය.

ඔහු අදාළ සාකච්ඡාවල සංවිධායකයෙක්.

ධීවරයන්ගේ ගැටළු සම්බන්ධයෙන් පසුගිය අවස්ථාවල සාකච්ඡා කරන ලද කණ්ඩායම සමඟ මෙවරත් සාකච්ඡාව පැවැත්වෙන බවද එස්පී අන්තෝනිමුත්තු සඳහන් කළේය.

එහෙත් ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන් සමඟ කටයුතු කොට පළ පුරුදු ධීවර නායකයන් ඉන්දියාවේ පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගි වීම සඳහා රජය විසින් තෝරා ගෙන නැතැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය චෝදනා කරයි.

විශේෂයෙන්ම මහ මුහුදේදී ගැටුම් වලට මුහුණ දෙන උතුරේ ධීවර නියෝජිතයන් නොමැති සාකච්ඡාවකින් එළැඹෙන තීරණ ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇති බවයි, ව්‍යාපාරයේ කැඳවුම් කරු හර්මන් කුමාර සංදේශයට කියා සිටියේ.

"අපිට ආරාධනාවක් නෑ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

අදාළ සාකච්ඡාව සම්බන්ධයන් බොහෝ ධීවර සමිති, සංවිධාන දැනුවත් කොට නැති බවද හර්මන් කුමාර පවසයි.