ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තවිෂ පීරිස්ගේ ඝාතකයන්ට 'දඬුවම් කරන්න'

29 දෙසැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 11:35 GMT

බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් නගරයේදී ඝාතනය කෙරුණු විසි පස් හැවිරිදි තවිෂ ලකිඳු පීරිස් තරුණයා ගේ පවුලේ ඥාතීන් තවමත් දවස ගත කරන්නේ හැඬූ කඳුලින්.

ෂෙෆීල්ඩ් හලම් (Hallam) සරසවියේ සිය උපාධිය නිම කළ විසිපස් හැවිරිදි තවිෂ ලකිඳු පීරිස්, තොරතුරු තාක්‍ෂණික අංශයේ රැකියාවක් භාර ගැනීමට නියමිතව සිටි අතරවාරයේ පිට්සා සමාගමක තාවකාලික රැකියාවක නිරතව සිටියේය.

පසුගිය ඔක්තෝබර් 27 වැනිදා පිහියෙන් ඇන ඔහු මරා දමා තිබුණේ ඔහු නිවසකට පිට්සා රැගෙන යමින් සිටියදීයි.

මුළු ලොවම කඩා වැටුණු බවක් සේ දැනෙන බවයි තවිෂ ගේ මව වජිරා පීරිස් හැඬූ කඳුලින් යුතුව, බීබීසීයේ කේට් බ්‍රැඩ්බෘක් මාධ්‍යවේදිනිය සමඟ කියා සිටියේ.

මුළු රැයම අවදියෙන්

බීබීසී ලුක් නෝත් වැඩසටහන වෙනුවෙන්, තවිෂගේ පවුලේ ඥාතීන් හමුවීම පිණිස ඇය පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුනාය.

"පුතා සිහිපත් වන සෑම අවස්ථාවකදීම දැනෙන්නේ ලොකු වේදනාවක්," බවද අම්මා පවසන්නීය.

තවිෂ ගේ පියා, සරත් පීරිස් පවසන්නේ රාත්‍රියේ පුතා මතකයට ඒම හේතුවෙන් තමා මුළු රැයම අවදියෙන් සිටින බවයි.

ඔහුගේ අනාගත අපේක්ෂාවන් මෙනෙහි කරන මව පවසන්නේ එංගලන්තයට ගොස් අධ්‍යාපනය ලැබීම සිය පුතුගේ අධිෂ්ඨානයක් වූ බවයි.

දෙමව්පියන්ට අවශ්‍ය වූයේ සිය සොහොයුරාට උසස් අධ්‍යාපනයක් ලබා දීම බව සදහන් කළ තවිෂ ගේ සොහොයුරු ප්‍රමෝද් පීරිස්, සිය සොහොයුරාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් පැමිණ විය යුතු යයි ඉල්ලා සිටියි.

දැනට පැවැත්වෙන පරීක්ෂණ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තමන් දැනුවත් කෙරෙන බව පවසන සොහොයුරු ප්‍රමෝද් සහ පියා සරත් පීරිස්, බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ලැබුණු සහයෝගයට ස්තුතිය පල කළහ.