කිරි පිටි ගබඩා වැටලිය හැකි බලතල

  • 28 දෙසැම්බර් 2013
Milk powder
මේ වසර මුලදී කිරිපිටි වල විෂ රසායනික ඇත්දැයි පරීක්ෂා කෙරුනා.

කිරිපිටි තොග ගබඩා කර තැබෙන ස්ථාන සොයා ගැනීම පහසු කිරීමේ නව නීති රීති හඳුන්වා දීමට ශ්‍රී ලංකාවේ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය කටයුතු කරමින් සිටී.

ඒ අනුව කිරි පිටි ආනයනය කරන සමාගම් තමන් ආනයනය කරන පානීය කිරි පිටි ගබඩා කර තැබෙන ගබඩා පිලිබඳ තොරතුරු අනාවරණය කළ යුතු අතර ඕනෑම මොහොතක එම ස්ථාන පරීක්ෂාවට ලක් කිරීමට අධිකාරියට හැකිවෙයි.

හිඟයක් මවාපෑම

කෘතිම ව කිරි පිටි හිඟයක් මවා පා මිල ඉහළ නංවා ගැනීමට ඇතැම් සමාගම් විසින් කරනු ලබන උත්සාහයන් වලක්වාලීම මේ නීති රීති වල අරමුණ බවයි නිලධාරීන් පවසන්නේ.

බී බී සී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමග පැවති දුරකථන සංවාදයකදී පාරිභෝගික අධිකාරියේ සභාපති රුමී මාසූක් පැවසුවේ සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි ආනයනය කරන සියලුම සමාගම් අධිකාරියේ ලියා පදිංචි වීම අනිවාර්ය වන බවයි.

මීට ප්‍රථම එවැනි ලියා පදිංචි කිරීමක් සිදුකර නොමැති බවත් වෙළඳ කටයුතු භාර අමාත්‍යවරයාගේ උපදේශ මත ප්‍රථම වරට කෙරෙන මේ ලියාපදිංචි කිරීම මගින් පාරිභෝගික අධිකාරියේ කටයුතු පහසු කෙරෙන බවත් සභාපති වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කිරි පිටි වල මිල නියම කිරීම පිළිබඳව එම සමාගම් වලින් කරන ලද ඉල්ලීමට දක්වන ප්‍රතිචාරය කුමක්දැයි විමසූ විට ඔහු කියා සිටියේ ඒ පිලිබඳ ළඟදීම තීරණයක් ගන්නා බවයි.

දැනට කිරිපිටි තොගයක් අත් අඩංගුවට ගෙන ඇති බවද එය විදේශීය සමාගමකට අයත් වුවක් බවද ඔහු සනාථ කළේය.