රෝහලේ ගැටලුව දුර දිග ගියේ ‘ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය නිසා’

  • 27 දෙසැම්බර් 2013
Palitha Thewarapperuma

බදුරලිය රෝහලේ මතු වූ සුළු ප්‍රශ්නයක් විසඳීම පිණිස දින හයක් ගත වීම, ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය පැහැදිලිව ප්‍රදර්ශනය කරන්නක් බව එක්සත් ජාතික පක්ෂය (එජාපය) පවසයි.

නිසි ප්‍රතිකාර ලබා නොදීම හේතුවෙන් රෝගියකු මිය ගිය බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කිරීම සහ රෝගියකු විසින් රෝහල් සේවකයකුට හා වෛද්‍යවරයකුට අසභ්‍ය ලෙස බැන වැදීම මුල් කර ගනිමින් වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව බදුරලිය රෝහල පසුගිය විසි එක් වැනි දින වසා දැමිණ.

රෝහල අද උදෑසන විවෘත කෙරුණු අතර එය යලි විවෘත කරන මෙන් ඉල්ලා උපවාසයක නිරත වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම තම උපවාසය අවසන් කරමින් ප්‍රතිකාර ලබා ගැනීම පිණිස බදුරලිය රෝහලට ඇතුලත් කෙරිණ.

ඉන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර ලබා දීම පිණිස ඔහු නාගොඩ රෝහලට ඇතුලත් කිරීමට වෛද්‍යවරු කටයුතු කළහ.

රෝහල වසා දැමීම පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී අජිත් පී පෙරේරා, ප්‍රදේශවාසී අහිංසක රෝගීන් අමාරුවේ දැමීමේ වගකීම බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම භාර ගත යුතු බව කියා සිටියේය.

දේශපාලන වාසි

"මෙවැනි ප්‍රශ්නයකට රෝහලක් දින හයක් වහල තියනවා කියන එකෙන් මේ රටේ රාජ්‍ය පාලනයේ තිබෙන අකාර්යක්ෂමතාවයත්, මේ රටේ යහ පාලනය පිළිබඳව තිබෙන ප්‍රශ්නත් අපට කියනවා,” බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

සෑම වෘත්තියකම නියැලෙන්නන්ට සිය රාජකාරියේ යෙදීමේදී ගැටළු මතු වන බව පවසන අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා, වෛද්‍යවරුන්ටද එය එසේම පොදු කරුණක් බව ප්‍රකාශ කරයි.

එබැවින් ගැටලුවක් මතු වූ විට වෛද්‍යවරුන් යතාර්ථවාදීව හැසිරිය යුතු බවද ඔහු පවසයි.

බදුරලිය රෝහලේ ප්‍රශ්නයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා, පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා උපවාසයක් සිදු කිරීමට තීරණය කළේ දින පහක් මුළුල්ලේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණු නිසා බවද සංදේශයට පැවසීය.

පාර්ශව කිහිපයක් සමඟ බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවති සාකච්ජාවකින් අනතුරුව අද සේවයට වාර්තා කිරීමට වෛද්‍යවරුන් තීරණය කළ බවයි, මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

‘සමාව ඉල්ලුවා’

කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් ඇමතූ සංගමයේ වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලීන්ද හේරත්, වෛද්‍යවරුන්ට තර්ජනය කළ පිරිස රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් සමාව ඉල්ලා සිටි බව පැවසීය.

“සියලුදෙනාගේ ආයාචනය වුනේ හැකි ඉක්මනින් රෝහල විවෘත කරන ලෙස. ඒ අය පොරොන්දු වුනා කිසිම බලපෑමක් මේ රෝහලේ කටයුතුවලට කරන්නේ නැහැ, ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය ආරක්‍ෂිත පරිසරය ඒ අය නිර්මාණය කරලා දෙනවා කියල,” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

බදුරලිය රෝහලේ වෛද්‍යවරුන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් පවත්වන ලද බවද වෛද්‍ය හේරත් ප්‍රකාශ කළේය.

"පරීක්ෂණයෙන් හෙළි වෙලා තියෙනවා රෝගී සත්කාරක සේවාවල කිසිදු අඩුපාඩුවක් වෙලා නැති බව. වෛද්‍යවරුන් සහ අනිකුත් කාර්ය මණ්ඩලය ලබා දිය හැකි උපරිම සේවාව කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදීලා තිබෙනවා. එසේ තිබියදී යම්කිසි පිරිසක් පටු දේශපාලන වාසි උදෙසා දිගින් දිගටම මේ සිද්ධිය පාදක කර ගෙන උද්ඝෝෂණවල යෙදුන,” යනුවෙන්ද ඔහු පැවසීය.

වෛද්‍යවරුන් ඝාතනය කිරීම

මෙවන් සිදුවීමකදී සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳනු වෙනුවට එක් වරම වැඩ වර්ජනයක් සිදු කිරීමට වෛද්‍යවරුන් තීරණය කළේ ඇයිද යන්න, මාධ්‍ය හමුවේදී වෛද්‍ය හේරත්ට යොමු කෙරුණු ප්‍රශ්නයක්.

"මෙතන විශේෂිත තැනක්. මේ ස්ථානයේ මීට කලින් සේවයේ යෙදුනු ස්ථාන භාර වෛද්‍යවරයාව ඝාතනය කළා, ඔතන වෙච්ච් සිද්දියක් පාදක කරගෙන පානදුරේදී. ඒ හා සමාන සිදුවීමක් බඳගිරියෙනුත් වාර්තා වුනා. වෛද්‍යවරියක් ඝාතනය වුනා, අවුරුදු කිහිපයකට කලින්. ඒ සිදුවීම් මෙතන වෙනකන් අපට බලාගෙන ඉන්ඩ බැහැ. මොකද මේක අසාමාන්‍ය දේවල් වෙන රටක්. ඔවුන්ගේ ජිවිත ආරක්ෂාව සලකල අපි ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කරගත්ත," යන්නයි, ඒ ප්‍රශ්නයට වෛද්‍ය හේරත්ගේ ප්‍රතිචාරය වූයේ.

වර්ජනය කිරීමට වෛද්‍යවරුන්ට අයිතියක් තිබෙන්නා සේම උපවාස කිරීමට රටවැසියන්ට අයිතියක් තිබෙන්නේ නොවේ දැයි, මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ රෝහල විවෘත කිරීමට නම් උපවාසකරුවන් එම ස්ථානයෙන් ඉවත් කරන මෙන් වෛද්‍යවරුන් ඉල්ලා සිටි බවට පැවසෙන වාර්තා පිළිබඳව විමසමින්.

"උපවාසය නෙමෙයි අපිට තිබුණු ගැටලුව විශාල පිරිසක් එක්වෙලා එම ස්ථානයේ ඉන්නවා කියන්නේ අපිට ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ පුද්ගලයා උපවාසයක් කරාට අපිට කිසිම ගැටලුවක් නැහැ, අපිට තිබෙන එකම ගැටලුව ආරක්ෂාව."

වෛද්‍ය වර්ජනයට විරෝධය පළකිරීමක් හා මන්ත්‍රී උපවාසයට සහාය පළ කිරීමක් වශයෙන් වසා දමා තිබුණු බදුරලිය නගරයේ කඩ සාප්පු අද සාමාන්‍ය පරිදි විවෘතව තිබූ බවත් රෝහලේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදුකෙරුණු බවත් ප්‍රදේශවාසියෙක් සංදේශයට පැවසීය.