තේරීම් කාරක සභාවට නොඑන්නේ ‘ජාත්‍යන්තර බලපෑම් කිරීමට’

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 27 සිකුරාදා - 19:16 GMT

දෙමළ ජාතික සන්ධානය ජාතික ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස පත් කොට තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වීමෙන් වැලකී සිටින්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් එල්ල කිරීමේ අරමුණින් බවට ආණ්ඩුව චෝදනා කරයි.

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, තේරීම් කාරක සභාව මගින් ජාතික ප්‍රශ්නයට සාධනීය විසඳුමක් ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස නොකරන බවට ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

“ජාත්‍යන්තර බලපෑමක් ශ්‍රී ලංකාවේ රජයට මේ වෙලාවේ ඇති කළ හැකියි කියන කල්පනාව මත ජාත්‍යන්තර ඔක්සිජන්වලින් ජීවත් වෙන, දේශීය ජනතාව ගැන විශ්වාසයක් නැති කොටස් හැසිරෙන ආකාරය ප්‍රදර්ශනය කරනවා වගේ කියල තමයි හිතන්ට කරුණු තිබෙන්නේ,” යනුවෙන්ද ඔහු කියා සිටියේය.

එල්ටීටීඊයේ කෲර ක්‍රියා හමුවේ නිහඬව සිටි දෙමළ ජාතික සන්ධානය, වර්තමානයේ ආණ්ඩුව උතුරේ කරන සංවර්ධන ක්‍රියාකාරකම් පවා විවේචනය කරමින් සිටින බවද අමාත්‍යවරයා පවසයි.

වපසරිය පුළුල් කරන්න

පාර්ලිමේන්තු කාරක සභාවේ වපසරිය පුළුල් කරමින් ඊට සහභාගි වන මෙන් යෝජනා කළ හොත් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බවයි, ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා මීට ඉහතදී බීබීසී දෙමළ සේවයට කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ගැටළු වලට රට තුළින් ම විසඳුම් සොයා ගැනීම පිණිස එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කළ ඇරයුම ඉතා ප්‍රවේසමෙන් සලකා බැලීමට සූදානම් නමුත් මීට පෙරාතුව අවුරුද්දක් මුළුල්ලේ ආණ්ඩුව සමඟ කළ සාකච්ඡාවලදී තමන් ඉදිරිපත් කළ යෝජනාවලට ආණ්ඩුවේ ප්‍රතිචාරය තවමත් තමන්ට නොලැබුන බවද දෙමළ ජාතික සන්ධානයේ නායකයා පැවසීය.

එහෙත් ආණ්ඩුවේ යහපත් ක්‍රියාදාමයන් පවා අනුමත කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් නැති බවයි, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසන්නේ.

තේරීම් කමිටුව පත් කිරීම පිණිස කථානායකවරයා සියලු පක්ෂ සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ එයට අනුමැතිය පළ කළ විරුද්ධ පක්ෂ දැන් එයට සහභාගි නොවන බවක් පවසන්නේ යයිද ඇමතිවරයා සඳහන් කරයි.

අදාළ තේරීම් කාරක සභාවේ අරමුණ දහ තුන් වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම පමණක් නොවන බව අවධාරණය කරන අමාත්‍යවරයා, තේරීම් කාරක සභාවක් එක විෂයයක් පිළිබඳව පමණක් සාකච්ඡා කරනු ඇතැයි බලාපොරොත්තු වීම ‘බොළඳ අදහසක්’ බවද පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.