උසස් පෙළ ඉහලින් සමත් ශිෂ්‍යයන්ට විදේශීය ශිෂ්‍යත්ව

  • 28 දෙසැම්බර් 2013
Students London

උසස් පෙළ විභාගයෙන් ඉහලින් සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීම පිණිස විදේශීය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කොට තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

චීනය, රුසියාව, කියුබාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ජපානය සහ නේපාලය යන රටවල් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පවසන්නේ.

ඉහත කී රටවල් මීට ඉහතදීත් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දුන් නමුත් මේ වසරේ එය 350 ක් දක්වා වැඩි කොට ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන බවත් එහි සඳහන්.

මෙම වැඩපිළිවෙලේ මුල් අදියර ලෙසින් බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාව සහ දන්ත වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස ශිෂ්‍යත්ව හතක් ප්‍රදානය කෙරෙන අතර, ඉන්දියාවට තවත් ශිෂ්‍යත්ව එකසිය අසූවක් ප්‍රදානය කිරීමට නියමිතයි.

ශිෂත්ව ලබා දීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන බව පවසන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ඒ පිලිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අමතන ලෙසද ඉල්ලීමක් කරයි.