ත්‍රිකුණාමලයේ කතෝලික පූජකවරයකුට තර්ජන - රදගුරුතුමා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 29 සිකුරාදා - 13:32 GMT

'පූජකතුමාගේ බිත්තියට තල්ලු කොට හිසට පිස්තෝලයක් තබා තර්ජනය කරලා'

අංක තහඩු නොමැති යතුරුපැදිවලින් පසුගිය නොවැම්බර් විසි හය වැනි දා ජෝන් පිල්ලේ පූජකතුමාගේ නිවසට පැමිණි හමුදා නිලධාරීන් ලෙසින් හඳුන්වා ගත් පිරිසක් ඔහුට තර්ජනය කොට ඇති බව ත්‍රිකුණාමලයේ රදගුරුතුමා පවසති.

ජෝන් පිල්ලේ පූජකතුමා, ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය අසල පිහිටි ගුවාඩ ලූපේ දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයායි.

හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලෙසින් හඳුන්වා ගත් සිවිල් ඇඳුමින් සැරසී, හෙල්මට් පැළඳ පැමිණි පුද්ගලයන් දෙදෙනා එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම පිණිස විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට සැරසෙන බවට පූජකතුමාට චෝදනා කරන ලද බව කිංස්ලි ස්වාමිපිල්ලේ රදගුරුතුමා සංදේශයට පැවසූහ.

'දිගටම හෙල්මට් පැළඳ ගෙන'

සිංහල භාෂාවෙන් කථා කළ ඔවුන් දෙදෙනා, දේව මෙහෙයට අමතරව ඊට පසු දින එල්ටීටීඊ මහ විරු දිනය සැමරීමේ උත්සව සංවිධානය කරන බවටද චෝදනා කරමින් පූජකතුමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන ලද බවද එහිමියෝ පවසති.

සිය නම් ගම් හෙළි කරන මෙන් ජෝන් පිල්ලේ පූජකතුමා ඉල්ලා සිටි අවස්ථාවේ කෝපයට පත් ඔවුන් දෙදෙනා ඔහු බිත්තිය දෙසට තල්ලු කොට හිසට පිස්තෝලයක් තබා තර්ජනය කොට ඇති බවද රදගුරුතුමා පැවසූහ.

මහ විරු දිනය සැමරීමෙන් වළකින මෙන් පූජකතුමාට තර්ජනය කොට අඩ පැයකට පසු යළිත් පැමිණෙන බව කියා ඔවුන් පිටවී ගිය නමුත් යළි පැමිණ නැති බවද එහිමියෝ සඳහන් කළහ.

තර්ජනය කළ දෙදෙනා දිගටම හෙල්මට් පැළඳ ගෙන සිටි බැවින් සහ එම අවස්ථාවේ අඳුර පැවති හෙයින් ඔවුන් හඳුනා ගැනීමට පූජකතුමාට නොහැකි වී තිබේ.

පොලිසියේ සහයෝගය

පූජකතුමා විසින් පොලිසියට සහ අනෙක් පූජකවරුන්ට සිදුවීම දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව රදගුරුතුමාගේ ඉල්ලීම පරිදි පොලිස් නිලධාරීන් දෙදෙනකු පූජකතුමාගේ නිවසට පැය විසි හතර පුරා පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබේ.

සිදුවීමෙන් අනතුරුව පූජකතුමාගේ නිවසට පැමිණි ප්‍රදේශයේ හමුදා අණ දෙන නිලධාරියා, හමුදා බුද්ධි සේවයේ සියලු නිලධාරීන් සිය පාලනයට නතු වන අතර පූජකතුමාගෙන් ප්‍රශ්ණ කිරීමට තමන් එවැනි කිසිදු නිලධාරියෙක් පිටත් නොකළේ යයි සඳහන් කළ බවත් රදගුරු ස්වාමිපිල්ලේ පවසති.

පූජකතුමා කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොමැති බව හොඳින්ම දන්නා බව පැවසූ පොලිස් සහ හමුදා නිලධාරීන් සිදු වූ දේ සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ප්‍රකාශ කළ බවත් රදගුරු හිමියෝ පවසති.

පොලිස් සහ හමුදා නිලධාරීන් එවක් පටන් තමන් සමඟ ඉතාමත් සුහදව සහ සහයෝගයෙන් ක්‍රියා කරමින් සිටින බවත් එහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.