ලන්ඩනයේ මහ විරු දින සැමරුමට දහස් ගණනින් රොක් වෙති

  • 27 නොවැම්බර් 2013
'එල්ටීටීඊය එක එක විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් අපිට ඔවුන් නිදහස් සටන් කාමියෝ'

කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව මහ විරු දින සැමරුම ශ්‍රී ලංකාවේ තහනම් කොට තිබෙන නමුත් ලන්ඩනයේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක පැවැත්වුණු මහ විරු දිනය සැමරීමේ උත්සවයකට දහස් ගණනක් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව රැස් වී සිටියහ.

"ලෝකේ මිනිස්සු එල්ටීටීඊය එක එක විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් අපිට ඔවුන් නිදහස් සටන් කාමියෝ," බවයි, උත්සවයේ සංවිධායකයකු වන කේ රාජමනෝහරන් බීබීසී සංදේශයට කියා සිටියේ.

එල්ටීටීඊය සමරන අතරවාරයේම, ප්‍රහාරවලින් මිය ගිය සහ තුවාල ලැබූ සිංහල ජනතාව සම්බන්ධයෙන් කනගාටුව පළ නොකරන්නේ මන්දැයි සංදේශය ඔහුගෙන් ප්‍රශ්න කළේය.

යුද අපරාධ

"ආණ්ඩුවක් දිගින් දිගටම මිනිස්සු මරණ කොට, තරුණ කොටස් ආයුධ අතට ගන්න එක සාමාන්‍ය දෙයක්. අපි දන්නවා සමහර මිනිස්සු ඒ ප්‍රහාරවලින් පීඩා විඳින්න ඇති," යන්න ඒ ප්‍රශ්නයට රාජමනෝහරන් පළ කළ ප්‍රතිචාරයයි.

කෙසේ නමුත් එල්ටීටීඊ ය සාමාන්‍ය වැසියන් පලිහක් වශයෙන් යොදා ගත් බවත්, බරපතල යුද අපරාධ කළ බවත් අසත්‍යයක් නොවන බව පෙන්වා දුන් සංදේශය, එම වැරදි පිලි නොගෙන ඔවුන් අනුස්මරණය කිරීම කෙතරම් යෝග්‍ය දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, දෙපාර්ශවය විසින්ම සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

මහ විරු දින සැමරුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ බෙදුම්වාදී මතවාද පැතිරීමට ගන්නා උත්සාහයන් වලට ඉඩ නොදෙන බවයි.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ එම ස්ථාවරයට සිය විරෝධය පල කොට තිබේ.