අතුරුදහන් වූවන් සොයන කොමිසමට පැමිණිලි අට දහසක්

  • 27 නොවැම්බර් 2013
සිය ඥාතීන් සොයා දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලන අතුරුදහන් වූවන්ගේ නෑදෑයෝ

අතුරුදහන්වූවන් සොයා බැලීමේ ජනාධිපති කොමිසමට මේ වන විට පැමිණිලි අට දහසක් ලැබී තිබෙන බව එහි කොමසාරිස්වරියක පවසයි.

උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගෙන් පැමිණිලි 4000 කුත් යුධ හමුදා සාමාජිකයන්ගේ අතුරුදහන් වීම පිළිබඳව පැමිණිලි 4000 කුත් දැනටමත් ලැබී තිබෙන බවයි, සුරංජනා විද්‍යාරත්න කොමසාරිස්වරිය සංදේශයට කියා සිටියේ.

සිය ඥාතීන් සොයා ගැනීම පිණිස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් කරන මෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෑතදී උතුරේ කළ සංචාරයේදී ඉල්ලා සිටි බව සංදේශය පෙන්වා දුන් අවස්ථාවේ කොමසාරිස්වරිය කියා සිටියේ විවිධ බලපෑම් මත සිය කටයුතු කඩිනම් කිරීමට කොමිසම සූදානම් නොමැති බවයි.

'ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නෑ'

"හරි ක්‍රමවේදයට හැකි තාක් දුරට නිවැරදිව කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කොමිසම ගැන විශ්වාසය ඇතිකර ගෙන කොමිසමේ කටයුතු සම්පූර්ණ වෙන කම් අපිට සහයෝගය දෙන්න කියල තමයි ඒ දෙමාපියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ," යනුවෙන්ද ඇය පවසන්නීය.

උතුරු නැගෙනහිර අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට චෝදනා එල්ල වී තිබෙන තත්වයක් යටතේ විමර්ශන පිණිස යොදා ගන්නා කණ්ඩායම කවුරුන්ද යන්න සංදේශය කොමසාරිස්වරියට යොමු කළ තවත් ප්‍රශ්ණයක්.

"ඒක තමයි අපිට තියෙන බැරෑරුම්ම කර්තව්‍යය. මේ කණ්ඩායම හඳුනා ගන්න එක. ස්වාධීන වෙන්ඩත් ඕනේ. මේ ගැන හොඳ අත්දැකීම් තියෙන්නත් ඕනේ."

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් අතුරුදහන් වීම පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර පරීක්ෂකයන් අවශ්‍ය නොවන බව කොමසාරිස්වරිය අවධාරණය කරයි.

දශක තුනක යුද ගැටුම්වලින් සිදු වූ මානව විනාශය සහ හානියට පත් දේපොළ පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම පිණිස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත සංගණනයෙන් හෙළි වන තොරතුරුද සියකොමිසමේ කාර්යභාරයට උපකාරී වනු ඇති බවද සුරංජනා විද්‍යාරත්න කොමසාරිස්වරිය සංදේශයට කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර