ජවිපෙ අයවැයට එරෙහිව වීදියේ

25 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 15:41 GMT

“අය වැය විජ්ජා එපා - ජනතාවට සහණ දෙනු” යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා රැළියක් සහ පෙළපාලියක් අද කොළඹදී පැවැත්වුණි.

ජනාධිපතිවරයා විසින් 2014 වසර සදහා ඉදිරිපත් කල අයවැය ප්‍රෝඩාකාරී එකක් බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රී වරයා ,එයට විරෝධය පෑමටත්,පීඩාවට පත් වූ සියලු ජනතාවට සහන ලබ දෙන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීමට මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ බව සංදේශයට ප්‍රකාශය කළේය.

සංදේශයට අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ,ජනතාවට සහන ලබා දීම වෙනුවට ආණ්ඩුව තව තවත් බදු බර පැට වූ බවයි.

"ජනතාවට දෙනවා කියන සහනය ලැබෙන්නේ ජනවාරි මාසේ පටන්.ඒත් ජනතාව මත පටවපු බදු බර අයවැය දවසේ මධ්‍යම රාත්‍රියේ පටන් ම ක්‍රියාත්මක වුනා. “මන්ත්‍රී වරයා පැවසීය

ජනාධිපති මහින්ද රාජපක්ෂ වතු කම්කරුවන් රවටා ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් ප්‍රකාශ කළේ.

මහ ජනතාව දිනෙන් දින ආණ්ඩුවෙන් ඈත් වෙමින් සිටින බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.