දෙමළ කිවිවර ජෙයපාලන් අත් අඩංගුවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 22 සිකුරාදා - 15:58 GMT

ශ්‍රී ලංකාවේ 'ජාතීන් අතර සමගිය බිඳ හෙලීමට' උත්සාහ කළ බවට කිවිවර ජෙයපාලන්ට චෝදනා

වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ දෙමළ කිවිවර වීඅයිඑස් ජෙයපාලන් අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

සංචාරක වීසා බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ රැස්වීම් පැවැත්වීම සහ ව්‍යාපාර කටයුතුවල නිරත වීම ඔහු අත් අඩංගුවට ගැනීමට හේතුව බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමිට කියා සිටියේ.

විදේශගත ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට පැමිණ කැමති පළාතක සංචාරය කළ හැකි නමුත්, ඔවුන් "ජාතීන් අතර සමගිය බිඳ හෙලීමට උත්සාහ කරන්නේ නම් එයට ඉඩ දිය නොහැකි" බව පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජේම්ස් පැකර්

සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ රැස්වීමකට හෝ සහභාගි වීමට අවසර නැත්නම්, කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් පොදු රාජ්‍ය මණ්ඩලයේ ව්‍යාපාරික සමුළුව පවා ඇමතුවේ කෙසේ දැයි විමසූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ, ව්‍යාපාරිකයන්ට සහ සංචාරකයන්ට ලබා දෙන වීසා බලපත්‍ර එකිනෙකට වෙනස් බවයි.

"යම් කිසි කෙනෙක් ව්‍යාපාරයකට එන එක වෙන ප්‍රශ්ණයක්. රටේ ජාතිවාදය ඇති කරන්න උත්සාහ කරන එක වෙන ප්‍රශ්ණයක්," යනුවෙන් ඔහු කියා සිටියේය.

දැනට නෝර්වේ රාජ්‍යයේ වෙසෙන වීඅයිඑස් ජෙයපාලන් කලක් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල විවේචකයෙක් වූ නමුත්, කොටි සංවිධානයට එරෙහිව ආරක්ෂක හමුදා දියත් කළ යුද්ධයද දැඩි විවේචනයට ලක් කළේය. ඔහු පසුව දෙමළ චිත්‍රපටවල රඟපෑමටද එක් විය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.