කැමරන් ගේ ශ්‍රී ලංකා සංචාරය ගැන බ්‍රිතාන්‍යයේ ප්‍රශ්න

19 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:22 GMT

ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා සහ මානව හිමිකම් උල්ලංඝන විභාග කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටීම බ්‍රිතාන්‍ය විසින් අත් හිටුවන්නේ නැති බව අගමැති ඩේවිඩ් කැමරන් පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.

‘හැකි පමණින් සෑම ජාත්‍යන්තර මුලුවක දීම එය සිදු කැරෙනු ඇති,’ බවයි ඔහු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේ.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවෙන් පෙරලා පැමිණීමෙන් අනතුරුව කැරුණු විවාදයක දී මන්ත්‍රී වරුන් විසින් බ්‍රිතාන්‍ය අගමැති වරයා ගෙන් විමසනු ලැබුයේ උතුරේ දී ඔහු හමු වූ අයට අඩන්තේට්ටම් නො කැරෙන බවට සහතිකයක් ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත්තේද යන්නයි.

කනොන් මිටියාවතේ ඈන් ක්ලුයිඩ් මන්ත්‍රීවරියයි මුලින් ම ඒ ගැන විමසා සිටියේ.

අගමැති කැමරන්

‘උතුරු පලාතට යාමත්, යුද අනාථයන් සහ උන්හිටි තැන් අහිමි වුවන් මුණ ගැසීමත් ඔවුන්ගේ ප්‍රශ්නය ඉස්මතු කිරීමත් කොයි තරම් වැදගත් ද කියන කාරණය මම කතා කළ සියලුම බලධාරීන්ට පැහැදිලි කළා. මම නිශ්චිතවම ජනාධිපති වරයා හමුවී කළේ ඒකයි. ඒ පුද්ගලයන්ට මොකක්ද වෙන්නේ කියා ලෝකයත්, මමත් බලා ඉන්නවා. පුද්ගලයන් ට නැවත වාසස්ථාන ලබා දෙන බවටත්, පුද්ගලයන්ට අලුතින් ජීවිකාව සලසා දෙන බවටත්, මට සහතික ලැබී තිබෙනවා. අපි බොහොම ප්‍රවේශමින් බලා ඉන්නේ මට මුණ ගැසුණු අයට මොකද වෙන්නේ කියලා.’

ජෙරමි කෝබින්

පරීක්ෂණයක් සඳහා වන බ්‍රිතාන්‍ය අගමැති වරයා ගේ ඉල්ලීම ක්‍රියාත්මක කරවා ගන්නේ කෙසේදැයි පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටියේ දකුණු ඉස්ලින්ටන් ලේබර් මන්ත්‍රී ජෙරමි කෝබින්.

ශ්‍රී ලංකාව දුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් කුමන අධීක්ෂණයක් වේ ද යන්නත් ඔහු විමසීය.

අගමැති කැමරන්

‘ප්‍රධාන කරුණ වන්නේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය නවී පිල්ලේ විසින් තහවුරු කොට තිබීම සහ අඩුම වශයෙන් එය ආරම්භ කළ යුත්තේ කවදාදැයි දින නියම කොට තිබීම. එතුමිය පවසා තිබෙන්නේ එය පටන් නො ගත්තොත්, ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බවයි. අපි කියා සිටින්නේ, ඊට අපේ සහාය දක්වන බවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අප සහභාගි වන සියලුම සංවිධාන වල බ්‍රිතාන්‍යය සතු ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික බලය යොදවන බවත්.’

මයික් ගේප්ස්

ඉල්ෆර්ඩ් දකුණ නියෝජනය කරන මයික් ගේප්ස් මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අතීත වාර්තාව හැඳින්වුයේ ඛේදජනක එකක් ලෙස.

ඊට හේතුව වශයෙන් ඔහු දැක්වුයේ මානව හිමිකම් මණ්ඩලය වරක් ශ්‍රී ලංකාවේ රජය ප්‍රශංසාවට ලක් කිරීම.

අධිකාරවාදී රාජ්‍ය හා රාජපක්ෂ පාලනයේ මිතුරන් මණ්ඩලයේ සිටිය දී ප්‍රගතියක් ඇතිවේද යන්නයි ඔහුගේ ප්‍රශ්නය.

අගමැති කැමරන්

‘මම හිතන්නේ මේක බොහෝ කාලයක් වැරෙන් පහර දීමට සිදු වන කටයුත්තක්. ඒත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වටහා ගත යුතු දෙයක් තියෙනවා. මම හිතනවා ඔවුන් සතියකට කලින් දැන සිටියාට වඩා අද ඒ ගැන වඩා හොඳ අවබෝධයකින් සිටිනවා. ඒ තමයි, මේ කාරණය ඔවුන් අත හැර යන්නේ නැති බව. ඔවුන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත් වූයේ නැතිනම්, ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන බලපෑම එන්න එන්නම වැඩි වෙයි. එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් යාන්ත්‍රණය යොදා ගැනීමයි ඊට නිවැරදි මාර්ගය.’