මුස්ලිම් ජනතාව යලි පදිංචියට 'ඉන්දියාවෙන් උදවු නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 18 සඳුදා - 11:38 GMT
Minister Rishad Bathiyudeen

'අනාගතේදී ඒ ජනතාව නැවත පදිංචි කිරීමට උදවු කරන්න කියල අපි ඉල්ලීමක් කළා'

එල්ටීටීඊ පාලනය පැවති සමයේ උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාව යලි පදිංචි කිරීමේ ප්‍රයත්නයට ඉන්දියාව කිසිදු දායකත්වයක් දක්වා නැති බව ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරයෙක් පවසයි.

සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ඒ බව කියා සිටියේ බීබීසී දෙමළ සේවයේ සිවරාමක්‍රිෂ්ණන් පරමේශ්වරන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව යලි පදිංචි කිරීම පිණිස ආධාර කරන මෙන් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් සමඟ පැවති සාකච්ඡාවකදී තමන් ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා පැවසීය.

"ලක්ෂයකට වැඩි පිරිසක් උතුරු පලාතෙන් එල්ටීටීඊ ය එළවලා අවුරුදු ගාණක් අනාථ වෙලා ඉන්න අය පදිංචි කරවීම සඳහා ඉන්දියාව අද වෙන තුරු පිළිවෙලකට උදවු කරලා නෑ. අනාගතේදී ඒ ජනතාව නැවත පදිංචි කිරීමට උදවු කරන්න කියල අපි ඉල්ලීමක් කළා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

ඉන්දීය අගමැති මන් මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීම හේතුවෙන් සමුළුවට සහභාගි වූ ඉන්දීය දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් විසින්.

අමාත්‍ය බදියුද්දීන් ඇතුළු ඔහුගේ පක්ෂයේ දූත පිරිස ඉන්දීය අමාත්‍යවරයා මුණ ගැසුණේ ඔහු කොළඹ පැවති සමුළුවට සහභාගි වෙමින් සිටි අතරවාරයේ.

යුද්ධයෙන් උන් හිටි තැන් අහිමිවූ ලක්ෂ තුනකට ආසන්න දෙමළ වැසියන්ගෙන් අති බහුතරය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මේ වන විටත් යලි පදිංචි කොට තිබෙන බවත් ඉන්දීය අමාත්‍යවරයාට පෙන්වා දුන් බවද අමාත්‍ය බදියුද්දීන් පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.