වතුකරයේ ජන ජීවිතය 'අවුරුදු 150ක් එක තැන'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 18 සඳුදා - 17:53 GMT
Prince Charles in a tes estate

වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට ආධාර කරන මෙන් චාල්ස් කුමරුගෙන් ඉල්ලීමක්

අධිරාජ්‍යවාදී පාලකයන් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලැබූ වතුකරයේ දෙමළ ජනතාව ගේ ජීවන තත්වය වසර එක සිය පණහක් මුළුල්ලේ කිසිදු වෙනසකට ලක් වී නැති බව පෙන්වා දෙමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාර දුන් බව වතුකරයේ සුභ සාධන සමිතියක් පවසයි.

පසුගියදා වතුකරයේ සංචාරයක යෙදුන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාගේ අවධානය පිණිස එම සංදේශය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට භාර දුන් බව සෞම්‍යසරණ පදනමේ නායක එස්පී අන්තෝනිමුත්තු බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමිට කියා සිටියේය.

"අවුරුදු 150 කට පෙර ගෙන්න ගත්ත කාලේ ඒ ද්‍රවිඩ ජනතාව ජීවත් වෙච්ච ඒ ලයින් කාමරය තාමත් ඒ විදියට තමයි පවත්වන්නේ. ඒ ලයින් කාමරයේ ජීවත්වෙන ජනතාව නිතර නිතරම සෑහෙන ආපදාවලට මුහුණ දෙනවා. ජීවිතේ විනාශ වෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

මේ තත්වය පහදා දෙමින් චාල්ස් කුමරු වෙත යොමු කළ ලිපියේ වතුකරයේ දෙමළ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට ආධාර කරන මෙන් ඉල්ලා සිටි බව පදනමේ සභාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව පැවැත්වුණු තරුණ සහ ව්‍යාපාරික සමුළුවලදී ගත් තීන්දු වතුකරයේ ජනතාව වෙනුවෙන්ද ක්‍රියාත්මක කරන මෙන් සහ වතුකරයේ ජනතාව වෙනුවෙන් වෙනමම ආපදා කළමනාකරණ කාර්යාලයක් ක්‍රියාත්මක කරන මෙන්ද එම ලිපියෙන් ඉල්ලීමක් කොට තිබේ.

වතුකරයේ සංචාරයේදී චාල්ස් කුමරු හමුවීමට තමන් කළ ඉල්ලීම ඉටු නොවූ බවද එස්පී අන්තෝනිමුත්තු බීබීසී යට පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.