ශ්‍රී ලංකාව කොන් කරන්න එපා - ජනපති මහින්ද

17 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 15:30 GMT

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් කොළඹ සමුළුව නිමා කරමින් අවසාන නිවේදනයක් නිකුත් කළේ ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා විසින් සිදු කරන ලද බවට චෝදනා කැරෙන යුද අපරාධ පිලිබඳ කිසිදු සඳහනකින් තොරව. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ඇතුළු පොදු රද මඩුලු "කේන්ද්‍රීය හර පද්ධති" රැකීමට නායකයන්ගේ කැපවීම නිවේදනයේ යලිදු තහවුරු කොට තිබේ. සමුළු සමාප්ති හමුවකදී මාධ්‍ය වේදීන් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩල නායකයන් පළ කළ අදහස් ඇසුරින් කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් සකස් කළ වාර්තාවක් මේ.

CHOGM end
ඉටු කරන්නේ 'පාර්ලිමේන්තුව හා ජනතාව ඉල්ලා සිටින දෙය පමණයි'

මානව හිමිකම් චෝදනා හමුවේ ශ්‍රී ලංකාව කොන් කරනු වෙනුවට සාධාරණව කටයුතු කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ විවේචකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අවසන් වීමෙන් අනතුරුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

වසර තිහක් මුළුල්ලේ පැවති ගැටලු සඳහා එක් රැයකින් විසඳුම් ලබාගත නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා කාලය අවශ්‍ය බව පෙන්වා දුන්නේ, තමාට අවශ්‍ය වන්නේ එක් පුද්ගලයෙකුට පමණක් නොව සියලු දෙනාටම පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කිරීමට බව පවසමින්.

'සංවේදී කරුණක්'

තමන් ඉටු කරන්නේ පාර්ලිමේන්තුව හා ජනතාව ඉල්ලා සිටින දෙය පමණක් බවත් වෙනත් පාර්ශවයන්ගේ බලපෑම් මත කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කමලේෂ් ශර්මා
එ ජා පරීක්ෂණයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්නේදැයි මතු කළ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නෑ

මෙරට ජාතික ගැටලුවට විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස පාර්ලිමේන්තු කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුව රැස්ව ඉදිරිපත් කරන නිර්දේශ තමන් ක්‍රියාත්මක කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

වෙනත් රටක මානව හිමිකම් උල්ලංඝන හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කරන විට එය ඉතා සංවේදී තත්වයක් බව කියා සිටි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවටද එය එසේම සංවේදී කරුණක් බවද සඳහන් කළේය.

මාධ්‍ය හමුවට පෙර මාධ්‍යවේදීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළ පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශක රිචඩ් උකු, රාජ්‍ය නායක සමුළුවේ නිල තීරණ දැනුම් දීම පිණිස මාධ්‍ය හමුව පවත්වන බැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටියේය.

මින් පෙර පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ නිල ප්‍රවෘත්ති සාකච්ඡා තුනේදීම මතු වුනේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව ගැන 'ප්‍රශ්න එපා'

කෙසේ නමුත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශකයාගේ ඉල්ලීම නොතකා දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගෙන් ජනාධිපති රාජපක්ෂ වෙත දිගින් දිගටම ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රශ්න යොමු විය.

මාධ්‍ය හමුව මෙහෙයවූ පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශක රිචර්ඩ් උකු විදේශීය මාධ්‍යයට වැඩි ඉඩක් ලබා දෙන බවට රාජ්‍ය පාලිත ඩේලි නිවුස් පුවත් පතේ කතුවරයා එල්ල කළ චෝදනාවක් හේතුවෙන් සභාවේ වරක් උණුසුම් ස්වභාවයක් මතු වූ අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශකයා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

යම් හෙයකින් ලබන මාර්තු මාසයෙන් පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විභාගයට ගැනීමට එක්සත් ජාතීන් සමග එක්ව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැතිවීමට උත්සාහ කළ හොත් එහිදී පොදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්නේදැයි මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයට පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් වරයා පැහැදිලි පිළිතුරක් නොදුන්නේය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල මානව හිමිකම් සුරක්ෂිත කිරීමත් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමත්, මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමත් සඳහා එම රජයන් සමග එකාබද්ධව කටයුතු කරන බව සඳහන් කළ මහ ලේකම් කමලේෂ් ශර්මා, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ශක්තිමත් කිරීම එයට එක උදාහරණයක් බව කියා සිටියේය.