යුද අපරාධ පරීක්ෂණයක් පැවැත්වුවොත් 'මහත් වෙනසක් වේවි' - බ්‍රිතාන්‍යය

  • 17 නොවැම්බර් 2013
විලියම් හේග්
යුද අපරාධ චෝදනා සම්බන්ධ කරුණ කොළඹ පැවති රාජ්‍ය නායක සමුළුව අභිභවනය කළේය

ලබන මාර්තු මාසයට පෙර යුද අපරාධ පරීක්ෂණයක් තහවුරු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය වරයා විශ්වාසය පළ කරයි.

විලියම් හේග් මේ බව කියා ඇත්තේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස හෝ එක්සත් ජාතීන්ගේ විමර්ශනයකට මුහුණ දීමට සිදුවන බව අගමැති ඩේවිඩ් කැමරන් ජනාධිපති මහින්ද රාජපක්ෂට කියා සිටීමෙන් අනතුරුවයි.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ගේ ම පරීක්ෂණයක් පැවැත්වීම මගින් යුද හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කරන බව ලෝකය හමුවේ විදහා දැක්වුව හොත් එය 'මහත් වෙනසක්' සිදු කරනු ඇති බවයි.

2015 සමුළුව මෝල්ටාවේ

මෙම කරුණ කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අභිභවනය කළේය.

මෝල්ටාව 2015 නායක සමුළුවේ සත්කාරක රට බව පොදු රාජ්‍ය මණ්ඩල නායකයෝ ප්‍රකාශයට පත් කළහ.

ලබන සමුළුව පැවැත්වීමට නියමිත ව සිටි මුරිසි අගමැති නවීන් චන්ද්‍ර රාම්ගුලාම් මෙන්ම කැනඩා අගමැති ස්ටීවන් හාපර් මෙවර කොළඹ ඒමෙන් වැළකී සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ට විරෝධය දක්වමින්.

ඉන්දීය අගමැති මන් මෝහන් සිං ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීය.

එල්ටීටීඊ ය පරදවා ලූ යුද්ධයේ අවසාන වකවානුවේ යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ සිදුවූ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකාවේ රජය ප්‍රතික්ෂේප කරයි.