පොදු රද මඩුලු ප්‍රතිපත්ති පිළිපදිනවා - ජනපති

10 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:59 GMT

පොදු රාජ්‍ය මණ්ඩලයට ශ්‍රී ලංකාව මග පෙන්වන ඉදිරි දෙවසර තුල පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පුරවැසියන්ගේ ගරුත්වය හා සමානාත්මතාව යළි ස්ථාපිත කිරීම පිණිස කැප වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, පොදු රාජ්‍ය මණ්ඩල සැසිවාර සතිය ආරම්භ කරමින් නව වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින්.

President Mahinda Rajapaksa with Kamalesh Sharma (file photo)

සමුළුව අති නවීන හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී අති උත්කර්ශවත් අන්දමින් ආරම්භ කෙරුණේ ජනාධිපති රාජපක්ෂ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කමලේශ් ෂර්මා ගේ ප්‍රධානත්වයෙන්.

දශක තුනක් මුළුල්ලේ ව්‍යවසනයක්ව පැවැති ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව මුහුණ දුන් දරුණුතම ප්‍රශ්නය බව පැවසූ ජනාධිපතිවරයා, ත්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් බඳවා ගන්නා ලද ළමා සොල්දාදුවන් ගැන සඳහන් කළේ එමඟින් ඔවුන්ගේ ළමා දිවියේ සුන්දරත්වය අත්විඳීමේ අවස්ථාව පවා අහිමි වූ බව පෙන්වා දෙමින්.

උත්සවයේදී අදහස් දැක්වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා පැවසුවේ බිලියන දෙකක ජනකායක් වාසය කරන පොදු රාජ්‍ය මණ්ඩලයේ ජනගහනයෙන් 60% ක්ම වයස අවුරුදු 30 ට අඩු තරුණයන් නිසා එම තරුණ පිරිසේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස වැඩපිළිවෙල ගණනාවක්ම ක්‍රියාත්මක වන බවයි.

සමාරම්භක උත්සවය අවසානයේදී සංදේශයට අදහස් දැක්වූ පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුවේ සම සභාපතිනි ඕස්ට්‍රේලියානු ජාතික එලි සේකල්, 2015 පසු ලෝක සංවර්ධන ඉලක්කයේ තරුණයන්ගේ කාර්ය භාරය, කාන්තාවන්ට සහ පුරුෂයන්ට සම තැන ලබා දීම, තරුණයන්ගේ වෘත්තීය ගැටළු සහ තරුණයන්ට රැකියා අවස්ථා උදාකිරීම වැනි කරුණු පස් දින සමුළුවේදී අවධානයට ලක් කෙරෙන බව කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ මෙම සමුළුව පැවැත්වීම පිළිබඳව තරුණ නායකයන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවද ඇය කියා සිටියාය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 41 ක තරුණ නායකයන් 76 දෙනකුට අමතරව ශ්‍රී ලංකාවෙන් තරුණ නියෝජිතයන් 25 දෙනෙක් තරුණ සමුළුවට එක් වී සිටිති.