කාන්තාවන්ට සැලකීම අතින් ශ්‍රී ලංකාව යලිත් පහලට

6 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 16:46 GMT

ලොව පුරා රටවල් 136 ක පුරුෂයන්ට හා සාපේක්ෂව කාන්තාවන්ට කෙරෙන සැලකීම් සලකා බැලීමේදී රටවල් 86 කම පසුගිය වසරට වඩා සාධනීය ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව, ලිංගික නොසලකා හැරීම් පිළිබඳ ගෝලීය දර්ශකය පවසයි.

ලෝක ආර්ථික සංසදය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුන දර්ශකයට අනුව බොහෝ කලාපීය රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ ඉහල තත්වයක් වන 55 වැනි ස්ථානය.

Gender Gap
කලාපීය රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ ඉහල තත්වයක්

කෙසේ නමුත් පසුගිය වසරට සාපේක්ෂව කාන්තාවන්ට සැලකීම අතින් ශ්‍රී ලංකාවේ පසුබෑමක් පෙන්නුම් කරයි.

දර්ශකයට අනුව ලොව කාන්තාවන්ට හොඳින්ම සලකන රට වීමේ සම්මානය අයිස්ලන්තයට හිමි වන අතර, එහි අවසානයටම සිටින රට යේමනයයි.

ආසියානු කලාපයේ කාන්තාවන්ට සැලකීම අතින් පහලම සිටින රට පාකිස්තානය. රටවල් 136 න් පාකිස්තානයට 135 වැනි ස්ථානය හිමි වෙද්දී, දර්ශකයේ 101 වැනි ස්ථානයට පත් වීමට ඉන්දියාව සමත් වී තිබේ.

"කිසියම් දෙයක් මනින්න පුළුවන් නම්, ඒක ගැන පියවර ගන්න පුළුවන්. මේ දර්ශකයේ අරමුණ ඒකයි," බවයි එය ප්‍රකාශයට පත් කරමින් එහි නිර්මාතුවරිය සහ වාර්තාවේ සම කතුවරියකද වන සාදියා සහීදි කියා සිටියේ.

පාර්ලිමේන්තු නියෝජනය

"ආර්ථිකමය වශයෙන්, දේශපාලනමය වශයෙන් කානතාවන්ට කොයි තරම් බලයක් තියෙනවද? ඒ වගේම සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ඔවුන්ට කොයි තරම් පහසුකම් තියෙනවද වගේ දේවල් තමයි අපි මෙතෙන්දි සලකා බැලුවේ."

සිරිමාවෝ බණ්ඩාරනායක
ලොව පළමු රාජ්‍ය නායිකාව බිහි කළ පමණින් 'ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් තහවුරු වී නැහැ'

කුල පීඩනය ඇතුළු වැඩ වසම් ප්‍රවණතාවලින් තවමත් කාන්තාව පීඩා විඳින ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා ඉදිරියෙන් සිටියත් නිදහසින් අනතුරුව ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් බිඳ වැටෙමින් පවතින බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු මේ අතර සංදේශයට කියා සිටියේ.

විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ කානතා අයිතිවාසිකම් පිරිහෙමින් පවතින අතර, ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ලක්ෂ පහළොවකට ආසන්න ගෘහස්ත කම්කරුවන්ගේ අයිතිවාසිකම් නියෝජනය කිරීමට කිසිදු සංවිධානයක් නැති බව ඔහු පෙන්වා දෙයි.

අයිස්ලන්තයෙන් අනතුරුව දර්ශකයේ ඉදිරියෙන්ම සිටින්නේ ස්කැන්ඩිනේවියානු රටවල්. පිලිපීනය, දකුණු අප්‍රිකාව සහ ලෙසෝතෝ යන තුන්වෙනි ලෝකයේ රටවල් දර්ශකයේ මුලින්ම සිටින රටවල් විස්ස අතරට එක් වීමත් විශේෂත්වයක්.

"මෙතෙන්දි රටක් කොතරම් දුප්පත්ද, පොහොසත්ද කියන දේට වඩා තමන් සතුව තිබෙන සම්පත් කොයිතරම් සමානව පුරුෂයන් හා කාන්තාවන් අතර බෙදී යනවද කියන එකයි අපි විමසා බැලුවේ. මේ වෙනකොට ලෝකයේ සෞඛ්‍ය සේවයේ පරතරය සියයට අනූ හයකින් වහල දාල තියෙනව. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරතරය සියයට අනූ තුනක් දක්වා අඩු කරලා," යනුවෙන්ද සාදියා සහීදි සඳහන් කළාය.

'මෑත සිට අවගමනයක'

නිදහසින් අනතුරුව කාන්තාවටද සර්වජන ඡන්ද බලය පිරිනමමින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව, වත්මන් ලෝක වාතාවරණය සමඟ සංසන්දනය කරන විට මෑත සිට අවගමනයක යෙදී සිටින බවයි බැසිල් ප්‍රනාන්දු පවසන්නේ.

2012 සහ 2103 දෙවසර සැසඳීමේදී, ලොව පුරා මහජන මන්ත්‍රණ සභාවන්හි කාන්තා නියෝජනය ඉහලම වර්ධනය දක්නට ලැබෙන අංශය බවද වාර්තාවේ සඳහන්.

කෙසේ නමුත් කාන්තාවන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම මගින් කාන්තාවන්ට ඉටු වන සේවයක් නොමැති බව මීගමුවේ කොර කපුටා කළා සංවිධානයේ ජයන්ති දන්දෙනිය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා කුමාරතුංග දෙදෙනාම රාජ්‍ය නායකත්වයට පත් වූයේ සැමියන් ඝාතනයට ලක් වීමෙන් අනතුරුව බව පෙන්වා දෙන ඇය, ඔවුන් දෙදෙනාගේම පාලන සමයේදී කාන්තාවන් භීෂණයට ගොදුරු වූ බවද පවසයි.

එහෙත් කාන්තා නියෝජනය යනු පාර්ලිමේන්තු නියෝජනය පමණක් නොවන බව පවසන බැසිල් ප්‍රනාන්දු, විශේෂයෙන්ම කාන්තාවන්ගේ තත්වය නගා සිටුවීම පිණිස අය වැයෙන් කොපමණ මුදලක් වෙන කොට තිබෙන්නේද යන්න රටක කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රධාන නිර්නායකයක් බවද ප්‍රකාශ කරයි.