මාතලේ අස්ථි කොටස් චීනයට යැවීම 'සැක සහිතයි'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 4 සඳුදා - 18:18 GMT
මාතලේ අතුර්දහන්වූවෝ

සමූහ මිනීවල ගැන අධිකරණ පරීක්ෂණයට සමගාමීව ජනාධිපති කොමිසමක්ද පත් කොට තිබේ

මාත‍ලේ සමූහ මිනීවළේ තිබි සොයා ගත් අස්ථි කොටස්වල කාල නීර්ණය සඳහා චීනයට යවන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටීම සැක සහිත බව අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පවසති.

අස්ථි කොටස් කාල නිර්ණ පරීක්ෂණය සඳහා චීනයට යැවීමට පොලිසිය කළ ඉල්ලීමට අද පැවති නඩු විභාගයේදී තමන් විරෝධය පළ කළ බවයි, ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී සුනිල් වටගල බීබීසී සංදේශයට කියා සිටියේ.

1988-89 සමයේ අතුරුදහන් වූ 24 දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් අධිකරණය වෙත දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කොට තිබුණි.

ශ්‍රී ලංකාවේ පවතින්නේ ඉංග්‍රීසි නීතිය මත පදනම් වූ නීති ක්‍රමයක් බැවින් අපරාධ නඩු විමර්ශන ක්‍රියාවලියේදී ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ විශේෂඥ සහය ලබාගැනීම ලංකාවේ මෙතෙක් පැවති සම්ප්‍රදාය බව නීතිවේදීහු අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

චීන අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව ලංකාව දැනුවත් නොමැති අතර, අස්ථි කොටස් යැවීමට නියමිත විශ්ව විද්‍යාලයට එරෙහිව වංචා චෝදනා එල්ල වී තිබෙන බවද අධිකරණයට පෙන්වා දුන් බවත් නීතිවේදී සුනිල් වටගල කියා සිටියේය.

එහෙත් එම කරුණු දැක්වීම නොසලකා මාත‍ලේ අතිරේක දිසා විනිසුරු මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ පොලිසියේ ඉල්ලීමට අනුමැතිය පළ කළේය.

ඉදිරි නඩු විභාගය ලබන වසරේ මැයි 22 වැනි දින දක්වා කල් තැබිණ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.