නායක සමුළුවෙන් අපරාධ වහන්න බෑ - ජවිපෙ

  • 3 නොවැම්බර් 2013
Anura Kumara Disanayake, MP
'ආණ්ඩුවේ අයට පවා එල්ල වී තිබෙන සුදු වෑන් තර්ජන සුදු පිරිවටයකින් වහන්න ආණ්ඩුවට බැහැ'

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම මගින් රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද අපරාධ සැඟවිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

විශේෂයෙන්ම නීති විරෝධී දෝෂාභියෝගයක් මගින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් පහ කිරීම, මාධ්‍යවේදීන් එකොළහක් පමණ ඝාතනය කිරීම සහ රතුපස්වලදී උද්ඝෝෂකයන් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු 'අපරාධ' රාජ්‍ය නායක සමුළු මගින් සැඟවිය නොහැකි බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

"ආණ්ඩුවේ අයට පවා එල්ල වී තිබෙන සුදු වෑන් තර්ජන සුදු පිරිවටයකින් වහන්න ආණ්ඩුවට බැහැ. මේ සියල්ල හෙළිදරව් වෙලා තිබෙන්නේ," යනුවෙන්ද ඔහු පැවසීය.

එබැවින් ආණ්ඩුව මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වරද භාර ගෙන, පරීක්‍ෂණවලට පෙනී සිටීම බවද ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

'ණය නැතුව බෑ'

"රාජ්‍ය නායකයින්ට කන්න බොන්න දීලා, බෙන්ස් රථ දීලා රටේ පිරිසිදුකම පෙන්වන්න පුළුවන්කමක් නැහැ."

ශ්‍රී ලංකාව ණය නොමැතිව පවත්වා ගෙන යා නොහැකි තත්වයක් උදා වී ඇති බවද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

ඉකුත් වසරේ ආණ්ඩුව බදු සහ දඩ මගින් උපයා ගත් ආදායම රුපියල් කෝටි ලක්ෂයකට ආසන්න බව අද මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළ අනුර දිසානායක මන්ත්‍රීවරයා, ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට පමණක් වැය කළ මුදල රුපියල් කෝටි 101700 ක් බව පැවසීය.

මේ මාසය මැදදී පැවැත්වීමට නියමිත පොදු රද මඩුලු සමුළුව සඳහා දරන වියදම කොයි තරම් දැයි රජයට කිසිදු අවබෝධයක් නොමැති බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා පවසයි.

එපමණක් නොව සමුළුව සඳහා පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබා දිය යුතු දැක්ම පිළිබඳව හෝ රජයට කිසිදු අවබෝධයක් නැති බවයි මාධ්‍ය වේදීන් අමතා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේ.

"පොදු රාජ්‍ය මණ්ඩල සමුලුවකින් ගන්නා තීරණ මොනවද, එම රාජ්‍ය නායකයින් හමුවේ තබන යෝජනා මොනවද කියලා ආණ්ඩවට අදහසක් නැහැ. සැණකෙළියක් පමණක් බවට පත්වෙලා," යනුවෙන්ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

සමුළුව පැවැත්වීම මගින් අවසානයේ ජනතාවට ඉතිරි වනු ඇත්තේ එහි වියදම් පියවා ගැනීම පිණිස බදු ගෙවීමට බවද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.