ලොව පුරා වසරකට දැරියන් ලක්ෂ 73 ක් ළමා මවුවරු

30 ඔක්තෝබර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 15:13 GMT

තුන් වෙනි ලෝකයේ රටවල වයස අවුරුදු දහ අටට අඩු දැරියන් ලක්ෂ හැත්තෑ තුනක් වසරක් තුල දරුවන් බිහි කරන බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය, වර්තමානයේ එය ලෝකය පෙලන බරපතළ ව්‍යාධියක් බව ද පවසයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් අද නිකුත් කරන ලද 2013 ජනගහන ප්‍රවණතා පිලිබඳ වාර්තාවේයි, ඒ බව සඳහන් වෙන්නේ.

A teenage mother
ශ්‍රී ලංකාවේදී පවුලේම වැඩිහිටියන් අතින් අතවරයට ලක් වන දැරියන් ගැන 'සමාජය නිහඬයි'

යොවුන් වියේදී මවු පදවියට පත් වන ලක්ෂ හැත්තෑ තුනක් දැරියන්ගෙන් ලක්ෂ විස්සක්ම වයස දාහතරට අඩු දැරියන් බවයි, වාර්තාව පෙන්වා දෙන්නේ.

එවන් බාල වියකදී ගර්භනී භාවයට පත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ දැරියන් බරපතල සෞඛ්‍ය සහ සමාජයීය ප්‍රශ්නවලට මුහුණ දෙන බවද වාර්තාවේ සඳහන්.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දෙමාපියන් ළමා මවුවරුන්ගේ ප්‍රශ්නයට මුහුණ දීම වෙනුවට එය සමාජයෙන් සැඟවීමේ උත්සාහයක නිරත වන බවයි, කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා නිමල්කා ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ.

ව්‍යභිචාරය

බාල වියේදී ගැබ් ගැනීම සම්බන්ධයෙන් දැරියන්ටම වරද පැටවීම සහ අවමන් කිරීම බොහෝ රටවල සම්ප්‍රදාය බවට පත් වී තිබෙන බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය, කෙසේ නමුත් මේ ගැටලුවේදී සමස්ත සමාජයම වග උත්තරකරුවන් බව අවධාරණය කරයි.

එය අනුමත කරන නිමල්කා ප්‍රනාන්දු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී පවුලේම වැඩිහිටියන් අතින් අතවරයට ලක් වන දැරියන් සම්බන්ධයෙන් සමාජය තවමත් මුනිවත රකින බව පෙන්වා දෙන්නීය.

ලාඕසයේ ළමා මවුවරුන් සම්බන්ධයෙන් විශේෂ අවධානය පළ කරන එක්සත් ජාතීන්ගේ වාර්තාව, විශේෂයෙන්ම දුප්පත්කමේ ප්‍රතිඵලයක් වශයෙන් පාසල් යාමේ අවස්ථා අහිමි වන ලාඕසයේ දරුවන් සහ දැරියන් හමුවේ ඇති එකම විකල්පය ඉක්මනින් වැඩිහිටියකු බවට පත්වීම බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේත් ඇතැම් ප්‍රදේශවල දෙමාපියන්ගේම අනුදැනුමෙන් බාල වියේදීම කෙරෙන විවාහ සමාජයේ වැඩි අවධානයකට ලක් නොවූ මාතෘකාවක්.

වැදි ජනතාව බහුල වශයෙන් වෙසෙන මහියංගන වැනි ප්‍රදේශවලද ළමා විවාහ විශාල වශයෙන් වාර්තා වී ඇති බවත් නිමල්කා ප්‍රනාන්දු සංදේශයට කියා සිටියාය.

කෙසේ නමුත්, ළමා මවුවරුන් තුන්වෙනි ලෝකයේ රටවලට පමණක් සීමා වූවක් නොවන බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය, විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය උදාහරණ වශයෙන් දක්වයි.