සමුළුවට වැය වන සම්පූර්ණ වියදම හෙළි කරන්න - එජාප

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 25 සිකුරාදා - 13:42 GMT
Commonwealth Sec Gen

'මේ සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලය සල්ලි දෙනවා කියල ජනතාව හිතාගෙන ඉන්නේ'

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් දරන සම්පූර්ණ වියදම රටට හෙලි කරන මෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එහි වියදම හෙළි කරන මෙන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් එයට නිසි පිළිතුරක් ලබා නොදෙන බවද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසීය.

"මොකද මේක මේ රටේ ජනතාවගේ සල්ලි, මේ සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලය සල්ලි දෙනවා කියල ජනතාව හිතාගෙන ඉන්නේ,"යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

මහජන මුදලින් පවත්වන පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව අද ලෝකයේ ප්‍රධාන රාජ්‍ය නායකයන් දෙදෙනකු වර්ජනය කිරීම ආණ්ඩුවේ දුර්වලතාවය නිසා සිදුවූවක් බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

'මනමාලි නැති මගුල් ගෙයක්'

"පොදු රාජ්‍ය මණ්ඩලයේ ජනගහණයෙන් භාගයක්ම ජීවත් වෙන්නේ ඉන්දියාවේ, ඉන්දියාව එන්නේ නැත්නම්, මේක ඇවිල්ල මනමාලි නැති මගුල් ගෙයක්ම තමයි."

Indian PM Manmohan Singh

'ඉන්දියාව එන්නේ නැත්නම්, මේක ඇවිල්ල මනමාලි නැති මගුල් ගෙයක්ම තමයි'

ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයන් පවා රටේ පවතින වාතාවරණය පිළිබඳව ප්‍රශ්න කිරීමට සැරසෙන බව පවසන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, එයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ 'අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය' බවටද චෝදනා කරයි.

"ලංකාවට තුලට රාජ්‍ය නායකයන් පවා ඇවිල්ල ඇඟිල්ල දිගු කරන තත්වයක් තමයි අපිට පෙන්න තියෙන්නේ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

1977දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව බිඳ වැටීමට ප්‍රධාන හේතුව 1976 දී නොබැඳි සමුළුව පවත්වා එහි බර ජනතාව මත පැටවීම බව පවසන එජාප මන්තිවරයා වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේද ඒ ආකාරයටම බව සඳහන් කරයි.

දකුණේ 'හමුදා ආක්‍රමණයක්'

"කෝටි ගාණක මුදල දැනටමත් ජනතාව පිට පටවල; බස් ගාස්තු වැඩි වෙන්නෙත් මේ හින්දම තමයි. ඉන්ධන මිල තව වැඩි වෙනවා, ජිවන වියදම තව වැඩි වෙනවා, හේතුව පොදු රාජ්‍ය මණ්ඩලයේ වියදම."

සමුළුවට වැය වන 'සම්පූර්ණ වියදම හෙළි කරන්න'

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා රජය දරන සම්පූර්ණ වියදම හෙළි කරන මෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. (හඬ පටය)

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීම පිණිස වය වන මුදල පිළිබඳව බීබීසී සංදේශය රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, තවමත් එම වියදම පිලිබඳ විස්තර තමන්ට ලැබී නොමැති බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්ව සිටි දකුණු පළාත් සභාවේ විපක්ෂනායක ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ආණ්ඩුවට තවත් බරපතල චෝදනාවක් එල්ල කළේය. ජනතාව බිය ගන්වා බලය රැකගැනීම පිණිස රට පුරාම හමුදා කඳවුරු ඉදි කරමින් තිබෙන බව ඔහු පවසයි.

"මාතර දාල තියෙනවා; කිරින්දේ, බූස්සේ හමුදා කදවුරු දෙකක් තියෙනව. බූස්සේ රත්ගම දේව පතිරාජ ඉස්කෝලේ දානවා තවත් කඳවුරක්, ගාල්ලේ අක්මීමන හියාරේ දානවා හමුදා කඳවුරක්. අපිට නොදැන ගම ආක්‍රමණය කරනවා හමුදාමය පාලනයකට," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.