CHOGM යාමට ඕන් සාං සුචී පක්ෂයි

  • 24 ඔක්තෝබර් 2013

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට රාජ්‍ය නායකයන් සහභාගී වීම පිළිබඳව බුරුම විපක්ෂ නායිකාව අනුමැතිය පළ කොට තිබේ.

බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදෙන ඕන් සාං සුචී ලන්ඩනයේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවූ අවස්ථාවේ දී මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීම නිවැරදි පිළිවෙත බවයි දෙදෙනාගේම එකඟතාව වී ඇත්තේ.

බ්‍රිතාන්‍ය අගමැති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය කළ යුතු බවට කැරෙන ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් විමසනු ලැබූ අවස්ථාවේ දී ඕන් සාං සුචී කියා සිටියේ විපක්ෂයේ හඬටත් සවන් දෙමින් පීඩාකාරී ආණ්ඩු සමග ගනුදෙනු කිරීම යෝග්‍ය බව යි.

ආණ්ඩුව පමණක් නොව 'අදාල සියලු පාර්ශව සමග' කටයුතු කළ යුතු බවයි ඇය ප්‍රකාශ කළේ.

'විවෘත ලෙස සාකච්ඡා'

බුරුම විපක්ෂ නායිකාවගේ අදහස අනුමත කරමින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කොට සිටියේ යුද පීඩිත ශ්‍රී ලංකාවේ උතුරු කරයටත් තමන් යන බවයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පිලිබඳ ප්‍රසාදයක් නැතැයි කී යුද ගැටුමින් පසු ශ්‍රී ලංකාවේ රජය කළ කටයුතු ගැන 'කිසිම කැමැත්තක් නැතැ' යි මාධ්‍යවේදීන් හා පැවසීය.

ඒ ගැන පෙන්වා දීමට ශ්‍රී ලංකාවේ රජය සමගින් 'විවෘත ලෙස සාකච්ඡා කරන' බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.