'විනිසුරුවන් ඉවත්කිරීමේ ක්‍රියාදාමය බ්‍රිතාන්‍ය ක්‍රමයට බැහැ': නීතිපති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 23 බදාදා - 12:59 GMT
Shirani Bandaranayaka

විදේශීය සංවිධාන වලට මෙවැනි නඩු විභාගයකට මැදිහත් වීමට නොහැකි බව නීතිපතිවරයා කියා සිටියේය.

හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය නීති විරෝධී බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වීමට අවසර දෙන ලෙස විදේශීය සංවිධාන දෙකක් කළ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය සහ වේල්සයේ සිට ක්‍රියාත්මක වන මානව හිමිකම් නීතිවේදී කමිටුව විසින් මේ ඉල්ලීම ඉදිරිපත් කෙරිණි.

බ්‍රිතාන්‍ය ක්‍රමය

ඉහළ අධිකරණවල විනිශ්චයකාර වරුන් ඉවත්කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව පසුගිය දෙදහස් පහ වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් නීති මාලාවක් සම්පාදනය කල බව මෙම සංවිධාන විසින් අධිකරණයට පෙන්වාදෙනු ලැබූ අතර ශ්‍රී ලංකාව තුලද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ක්‍රියාත්මක වන බැවින් ඉහළ අධිකරණවල විනිශ්චයකාර වරුන් ඉවත්කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීමට විරෝධය පලකළ නීතිපති වරයා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බාහිර විදේශීය සංවිධාන වලට මෙවැනි නඩු විභාගයක් සඳහා මැදිහත් වීමට නීතියෙන් අවසරයක් නොමැති බව කියා සිටියේය.

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ රටක් වුවද මෙවැනි ඉල්ලීම් තුලින් රටේ ස්වෛරී භාවයට හානි සිදුවන බවයි නීතිපතිවරයා පැවසුවේ.

නීතිපති වරයාගේ විරෝධතාව පිළිගත් විනිසුරු සලීම් අර්ෂුත් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අදාල විදේශීය සංවිධාන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන කරුණු මෙම පෙත්සම් විභාගය සඳහා අදාල නොවන බව සඳහන් කළේය.

අනතුරුව අදාල ඉල්ලීම් ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.