කැසිනෝ පනත ආපස්සට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 22 අඟහරුවාදා - 11:06 GMT

lanka_anti_casino_demo

කොළඹ නගරයේ කැසිනෝ සූදු පොල පවත්වා ගෙන යාමට ඉඩ සැලසීමට එරෙහිව ශ්‍රී ලංකාවේත් ඔස්ට්‍රේලියාවේත් විරෝධය මතු වන අතරවාරයේ එම යෝජනා ගෙන ඒම කල් දැමීමට රජය තීරණය කර ඇත.

කලින් සැලසුම් කළ පරිදි 'ක්‍රමෝපායික සංවර්ධන පනත' මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා බීබීසී යට කියා සිටියේ.

පනතින් ඉඩ සැලසෙන පරිදි කැසිනෝ සූදු පොල පවත්වාගෙන යාමට රජයේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මෙන්ම විපක්ෂයද විරෝධය පළ කොට තිබිණි.

කෙසේ වෙතත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ එම පක්ෂ සඳුදා පැවති පක්ෂ නායක රැස්වීමේ දී පනතේ දැක්වෙන බදු සහන පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි බවයි.

සංශෝධන සහිත ගැසට් පත්‍රයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව පැවසූ ඔහු ඒ සඳහා මාසයක් වත් කල් යනු ඇති බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන තරු පහේ කැසිනෝ සංකීර්ණයක් සඳහා ඩොලර් මිලියන හාරසියයක මුදලක් ආයෝජනය කරන බවයි ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස්‌ පැකර් (James Packer) සිඩ්නි නුවරදී ව්‍යාපාරිකයන් හමුවේ පවසා තිබුනේ.

ඕස්ට්‍රේලියානු විරෝධය

ක්‍රවුන් ශ්‍රී ලංකා (Crown Sri Lanka) නමින් යුත් එහි ප්‍රචාරක කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් සම්බන්ධ වීමට ඕස්ට්‍රේලියානු සරණාගත මණ්ඩලය අඟහරුවාදා විරෝධය පළ කොට තිබුණි.

කොළඹ නගරයේ අලුත් කැසිනෝ ව්‍යාපාරයකට දායක වීම මගින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ නායකයා ‘යුද අපරාධ සහ අනේක විධ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් චෝදනා ලබන රජයකට අනුබල දෙන,’ බවයි ඕස්ට්‍රේලියානු සරණාගත මණ්ඩල ප්‍රකාශක අරන් මයිල්වාගනම් නිවේදනයක් මගින් පවසා තිබුනේ.

මේ අතර කොම්පඤ්ඤ වීදිය ජනතා පෙරමුණ කොළඹදී විරෝධතාවක් දියත් කරමින් කියා සිටියේ කැසිනෝ සංකීර්ණ තම ගම් ප්‍රදේශයේ ඉදි කිරීම සංස්කෘතික විනාශයකට මග පාදන බවයි.

ආගමික සිද්ධස්ථාන හා පාසල් ගණනාවක් කැසිනෝ සුදු පොළේ බලපෑමට හසු වන බවයි උද්ඝෝෂකයන් පවසන්නේ.

'සූදූ අගනුවරක්'

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය මේ අතර 'ක්‍රමෝපායික සංවර්ධන පනත' ට විරෝධය පා ලිපියක් යවමින් ජනාධිපති වරයාගෙන් ඉල්ලා තිබුනේ ශ්‍රී ලංකාව ‘කලාපයේ සූදූ අගනුවර’ බවට පත් නොකරන ලෙසයි.

කෙසේ වෙතත්, ක්‍රවුන් ශ්‍රී ලංකා සංකීර්ණය අලුතින් කැසිනෝ බලපත්‍ර ලබා දීමක් නොවන බව ප්‍රකාශ කරන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා එමගින් සංස්කෘතික විනාශයක් සිදුවන බවට ගෙන එන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

‘වාලුකාරාමය ඉස්සරහ තියෙනවනම් මහානාම එක ඉස්සරහ තියෙනවනම් ඒක ඩී ආර් විජේවර්ධන මාවතට ආවම තියෙන සංස්කෘතික විනාශය මොකක්ද?’ යි ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍ය වරයා ප්‍රශ්න කරයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.